‘චීනය ශ්‍රී ලංකාව ණය උගුලෙන් බේරාගත්තා ‘


( තිළිණි ද සිල්වා )

චීනය ශ්‍රී ලංකාව බටහිර රටවල ‘ණය උගුලෙන්’ බේරාගත් බව කොළඹ චීන තානාපති කාර්යාලය කියා සිටී.

2017 වසරේදී ශ්‍රී ලංකා රජය විසින් හම්බන්තොට වරාය බදු දීමට සූදානම් වූ අවස්ථාවේදී මෙලෙස චීනය විසින් උපකාරයට ඉදිරිපත්ව ශ්‍රී ලංකාව ණය උගුලකින් බේරාගෙන ඇති බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙරට චීන තානාපති කාර්යාලය සදහන් කරයි.

එසේම මේ දක්වා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති සමස්ත විදේශ ණය ප්‍රමාණයෙන් චීනය වෙතින් ලබාගෙන ඇත්තේ 10%ක් එනම් ඩොලර් මිලියන 3388.2ක් පමණක් බවද ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා උපුටා දක්වමින් තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

2017දී ශ්‍රී ලංකාවට හම්බන්තොට වරාය බදුදීමට සිදුවූයේ ඒ වනවිට ගෙවීමට නියමිතව පැවැති අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර ‍වෙනුවෙන් ඩොලර් නොමැතිවීම හේතුවෙනි. එසේ නොමැතිව චීන ‘එක්සිම් බැංකුවට’ ගෙවීමට තිබූ ණයක් පියවීම සඳහා වරාය චීනයට ලබානොදුන් බව තානාපති කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව 2017දී චීනය විසින් හම්බන්තොට වරාය බදු පදනමින් ලබා ගැනීමෙන් ශ්‍රී ලංකාව සිරවීමට තිබූ අන්තර්ජාතික ණය උගුලෙන් රට බේරා ගැනීමට තම රාජ්‍යය දායක වී ඇති බව චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.