(සුජිත් හේවාජුලිගේ )
පවතින ආර්ථික තත්වය දඩමීමා කරගෙන පාරිභෝගික භාණ්ඩවලට හිතූ හිතු අසාධාරණ මිල ගණන් අය කරන වෙළෙඳුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ට ඊයේ (2) උපදෙස් දුන්නේය.
වෙළෙඳුන්ට අභිමතය පරිදි මිල ගණන් තීරණය කිරීමට ඉඩ නොදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පාලනය කළ යුතු බවද ජනාධිපතිවරයා දැනුම් දුන්නේය.
ඔහු මෙසේ දැනුම් දුන්නේ ආහාර සුරක්ෂිතතාවයට අදාළ අභියෝගවලට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ (2) පස්වරුවේ පැවති සාකච්ඡාවකදීය.
දිවයින පුරා සතොස සහ සමුපකාර වෙළෙඳසල් සක්‍රීයව පවත්වා ගෙන යෑමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ඡා කෙරිණ.
සියලුම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ප්‍රමාණවත්ව පවත්වාගෙන යමින් භාණ්ඩ හිඟයක් ඇති නොවීමට කටයුතු කළ යුතු බවත් භාණ්ඩ හිඟයක් මවාපාමින් මිල ඉහළ නැංවීමට ඇතැම් ව්‍යාපාරිකයන් සංවිධානාත්මකව දරන උත්සාහය ඉන් වැළැක්විය හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
තොග වෙළෙඳපොළට බෙදාහැරෙන කෘෂි අස්වැන්නෙන් කොටසක් ග්‍රාමීය වෙළඳසල්වලට සෘජුවම ලැබීමට සැලැස්විය යුතු බව පැවසූ ගෝඨාභය රාජපක්ෂ මහතා ග්‍රාමීය පාරිභෝගිකයාට අඩු මිලකට භාණ්ඩ ලබා ගැනීමට සහ ගොවියාට ඉහළ මිලක් ලබා ගැනීමට ඉන් හැකි වනු ඇතැයිද
පැවසුවේය.
මෙම සාකච්ඡාවට වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් එස්.වී කොඩිකාර යන මහත්වරුද එම අමාත්‍යාංශයට අයත් රේඛීය ආයතනවල ප්‍රධානීහුද සහභාගී වූහ.