හඬ එස්.බී ගේ වුණත් පසුබිමේ වෙනත් අයෙක් - ජවිපෙ


(ආරියරත්න රණබාහු, සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ලැබීමට පෙර අවලංගු කිරීමට ජනාධිපතිවරයාට හැකි බවට එස්.බී දිසානායක මහතා කර ඇති ප්‍රකාශයේ හඬ එස්.බී ගේ වුවත් එහි පසුබිමේ ඇත්තේ වෙනත් අයෙකු විය හැකි බව ජනතා විමුක්ති පෙරමුණු ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.

ජනාධිපතිවරයාගේ ක්‍රියාව ව්‍යවස්ථා විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ චෝදනාවට එතුමා ලක්වන බව කී හේරත් මහතා ජනාධිපතිවරයා දැන් මෙම ප්‍රශ්නය හත්පොළේ ගාගෙන ඇතැයි ද චෝදනා කළේය.

විජිත හේරත් මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.