(නාලක සංජීව දහනායක)
බඩ ඉරිඟු ඇතුළු බෝග වර්ග සියයකට පමණ හානි කළ හැකි දරුණු දළඹු විශේෂයක් වන ‘සේනා’ නැමැති දළඹු විශේෂය මර්දනයට අවශ්‍ය කෘමිනාශක මිලදී ගැනීමට සියයට 50ක කෘමිනාශක සහනාධාරයක් තාවකාලිකව ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණයකර තිබේ.
මෙම දළඹුවන් මර්දනය සඳහා කෘමිනාශක වර්ග හතරක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශකර තිබේ. එම කෘමිනාශක මිලදී ගැනීමට හා ඒවා ඉසීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් දැනටමත් රුපියල් මිලියන 50ක මුදලක් වෙන්කර ඇත.
සේනා දළඹුවා ඉතාම ඉක්මණින් බෝවන එමෙන්ම සීඝ‍්‍රයෙන් ව්‍යාප්තවන දළඹු විශේෂයකි. නිරන්තරයෙන් නොසන්සිදෙන කුසගින්නකින් පෙලෙන මෙම දළඹු විශේෂය එක් රැයකින් අක්කර 1000ක වගා බිමක් වුවත් කා දමා විනාශ කළ හැකි දළඹු විශේෂයකි.
මේ වනවිට මෙම දළඹු විශේෂය අනුරාධපුර, අම්පාර, කුරුණෑගල ඇතුළු ප‍්‍රදේශ ගණනාවකින් වාර්තාවන අතර දිවයිනේ සෙසු ප‍්‍රදේශවලින්ද සියයට 10 ක පමණ ව්‍යාපෘතියක් පෙන්නුම් කෙරෙන බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.