සී එම් සී


හෙන්රි ගමගේ මහතා ඉදිරිපත් කරන චෝදනා සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසීමකදි කොළඹ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂීනි දිසානායක මහත්මිය මෙසේ පැවසුවාය.

මේ චෝදනා සියල්ල මම ප්‍රතික්ෂේප කරනවා. අඩුආදායම් ලාභීපවුල්වල ජනතාවට වියලි ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා මිලින 395.5ක වවුචරයක් නගරාධිපතිනියගේ අත්සනින්ම මේ වන විටත් ලක් සතොසට ලබාදී තිබෙනවා. මම කොමසාරිස් ලෙස මෙ සභාවට පත්වි එනවිට නිල නිවස කලින් සිටි කොමසාරිස් අත්පත් කරගෙනයි හිටියේ. මට එය ලබාගන්ට නඩු කියන්නත් සිදුවුණා.. එය ලැබෙන තෙක් මාස හයකට තමයි කුලී නිවසක් ලබාගත්තේ.

 ඒ සභා අනුමැතියක් ඇතිවයි. මම එන්නට කලින් සිටම මේ සභාවේ ඉදිකිරිම් කිසිවකට සැලසුම් අනුමැතියක් ලබාගෙන නැහැ. ඒ බව මම දැනගත්තේත් මගේ නිල නිවසේ වතුර ටැංකිය ඉදිකිරිමේ කටයුත්තේදියි. ඒකට අදාල කොන්ත්‍රාත් දුන්නෙත් මම නෙවෙයි.

මම කිව්වේ සභාවේ ශිල්පින් යොදවා එය කරන්න කියලයි. කොහොම වුණත් එතනින් පස්සේ සභාවේ ඉදිකිරිම් සියල්ල සැලසුම් අනුමැතියකින් පමණක් ඉදිකළ යුතු බවට මම තදින් පෙනී සිටියා. ඒවාට තමයි ගොඩක් අයට රිදිලා තියෙන්නේ. ඔය ෂත්‍යග්‍රහය කරන මන්ත්‍රීවරයාගේ නිවසත් සැලසුම් අනුමත නොකල නිවසක්. ඒක ඉදිකර තිබෙන්නෙත් කාණුවක් මත. ඒ වගේම ඔහු තමන්ගේ ගෙදරට එන පාර වහලා සභාවේ මුදල්වලින් ගේට්ටුවක් දාගන්න හැදුවා. ඒ මාර්ගයෙන් තවත් විශාල පිරිසක් ගමන් කරනවා.

ඒ නිසා මම ඒක වැළැක්වුවා. ඒ වගේම ඔහු නගර සභාවේ පර්චරස් විසිතුනක ඉඩමක් අවභාවිතා කරන්න හැදුවාම මම ඒකත් වැළක්වුවා. ඔහු පුද්ගලිකවම මේ ෂත්‍යග්‍රහයට වාඩි වුනේ ඒ නිසයි.

 කාලයක් තිස්සේ නාගරික කොමසාරිස්ට ආරක්ෂක නිලධාරින් හතරක් අනුමත කර තිබුණා. මම දෙන්නෙක් ලබාගත්තේ ඒ අනුවයි. මම කාන්තාවක් නිසා තමයි කාන්තා නිලධාරිනි්යක් ගත්තේ. මේ සභාවේ මට එරෙහිව උද්ඝෝෂණ කරද්දි මාගේ කාර්යාලයට පැනලා ගහන්න හදද්දී ආරක්ෂකයෝ නොහිටියා නම් මොනවා වෙයිද? මම සභාවවට ආවට පස්සේ අභූත චෝදනා නගනවා නම් ඒවාට පිළිතුරු දීමට පනතේ හැටියට කාරක සභා අවස්ථාවකදී ඉඩ දිය හැකි නමුත් මේ සභාවේ මන්ත්‍රීවරු ඒ අවස්ථාව වත් දෙන්නේ නැත්නම් මම එහෙම සභාවකට එන්නේ ඇයි? ඒ නිසයි මම සභාවට එන්නේ නැත්තේ.

පහුගිය මැයි නව වැනිදා මේ සභාවේ සමහර මන්ත්‍රීවරු සමාජ මාධ්‍යවලින් ජනතාව පොළඹවන්න උත්සාහ කළේ මම පහර දි මගේ නිල නිවසට ගිනි තියන්න. ඒවා මට වේලාවසන දැනගන්න ලැබුණ නිසා වැළකුණා. දැන් මම මගේ පශ්චාත් උපාධිය වෙනුවෙන් විදේශ ගත වෙන්න සුදානම්වයි ඉන්නේ. ඒ සඳහා නිවාඩු අනුමත කරගත් දවසේ තමයි මේ ෂත්‍යග්‍රහය පටන් ගත්තේ. ඒ ඔවුන්ගේ ෂත්‍යග්‍රහය නිසා මම ගියා කියලා පෙන්වන්න.

මම මේ ගමන යන්න හිටියේ 2020 ඔක්තෝබර්වල. ඒත් ඉහළින් ලැබුණ ඉල්ලීම් මත මම ඒවා නවත්තලා තමයි මේ සභාවේ වැඩකළේ. මට මේ තරම් පහර දෙන්නේ දුෂණයට වංචාවට තිබෙන ඉඩ කඩ මම අහුරා තිබෙන නිසයි.