(නිමල් ජයරත්න)
සමෘද්ධි දීමනාව කපාහැර ඇතැයි පවසමින් ඊට විරෝධය දක්වමින් දිඹුලාගල සමෘද්ධි කාර්යාලයේ ප‍්‍රධාන ගේට්ටුව අවහිර කරමින් සමෘද්ධිලාභී යුවළක් අද(02) උපවාසයක් ආරම්භ කළහ.
මෙලෙස උපවාසය ආරම්භ කර ඇත්තේ නැගෙනහිර මනම්පිටිය මෙත්සිරිගම 17 ඒ ලිපිනයේ පදිංචි 46 වියැති සිව්දරු පියෙකු වන ඒ.ඒ ශාන්ත සිරිවර්ධන සහ ඔවුන්ගේ බිරිය වන 42 වියැති බී. නදීෂා රේණුකා යන අයයි.
තමන් 2015 වසරේදි මෙවැනිම උපවාසයක් ආරම්භ කර ලබාගත් රුපියල් 3500 යේ සමෘද්ධි දීමනාව පසුගිය මාස 05 ක කාලය තුළ ලබා නොදුන් බවත්, එම මුදල කපාගෙන ඇති බවත්, එය රෝගීව සිටින තම පවුලට කරන බලවත් අසාධාරණයක් බවත් ශාන්ත සිරිවර්ධන මහතා පැවසීය.
“මගේ පවුලම ලෙඩ වෙලා ඉන්නේ. අපිට කුඹුරු නැහැ. ස්ථිර රැකියා නැහැ. කුලියක් කරලා තමයි දරුවෝ පාසල් යවන්නේ. මම මේ සමෘද්ධි කාඩ් එක ගත්තේ උපවාසයක් කරලා. රුපියල් 3500 සමෘද්ධි දීමනාවෙන් 500 යක් රක්‍ෂණ ගාස්තු කියලා කපනවා. මට මීට අවුරුදු 3 කට ඉස්සර සමෘද්ධියෙන් ගෑස් සිලින්ඩරයක් දුන්නා. ඒකට මාසික සමෘද්ධි දීමනාව කපා ගත්තා. අද මම සමෘද්ධි කාර්යාලයට ආවට පස්සේ ඒකේ මහත්වරු කියනවා මාස පහේම සමෘද්ධි මුදල් ගෑස් සිලින්ඩරයේ ණය මුදල් වෙනුවට කපා ගත්තා කියලා. මේ අසාධාරණේ ඉවසාගන්න බැරි නිසයි මේ ගිනිගහන අව්වේ මම විසඳුමක් දෙනතුරු නෝනත් එක්ක උපවාසය කරන්නේ” යැයි ශාන්ත සිරිවර්ධන මහතා කීය.
මේ සම්බන්ධයෙන් දිඹුලාගල ප‍්‍රාදේශීය ලේකම් පී.ටී.එම්. ඉර්ෆාන් මහතා පැවසුවේ ඔහු සමෘද්ධි ණය ලබාගෙන ඇති බැවින්, එම සමෘද්ධි සහනාධාරය හිඟ මුදලින් කොටසක් කපා ඇති බවයි. බොල් ණය එකතු කිරීමට තමන් සමෘද්ධි නිලධාරින්ට උපදෙස් දෙන බැවින් උපවාසකරුගේ ගැටලුවටද තමන්ට විස ඳුමක් ලබාදිය නොහැකි බවද ඉර්ෆාන් මහතා පැවසීය.
උපවාසය අතරතුරදී සිරිවර්ධන මහතා ක්ලාන්ත වූ අතර පසුව දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ කම්කරුවෝ පිරිසක් පැමිණ ජලය ඉස ඔහුව පියවි සිහියට පත්කළහ.



