ශ්‍රී ලංකා මහ කොමසාරිස්


( තිළිණි ද සිල්වා )

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී පන්කජ් සරන් මහතා හමු වී ද්විපාර්ශික සාකච්ඡා පවත්වා ඇත.

ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි ජාතික ආරක්ෂක මණ්ඩල කාර්යාලයේ දී මෙම හමුවීම සිදුවිණි.

ඉන්දීය නියෝජ්‍ය ජාතික ආරක්‍ෂක උපදේශක සරන් මහතා විසින් මහ කොමසාරිස් මොරගොඩ මහතාව ඉතා සුහදශීලී ව පිළිගනු ලැබූ අතර  මෙහිදී ඉන්දීය නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශකවරයා සහ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා අතර පැවති සාකච්ඡාවේදී ආර්ථික සහයෝගීතාවයට සම්බන්ධ කරුණු ඇතුළු අන්‍යෝන්‍ය උපාය මාර්ගික අවශ්‍යතාවන්ට අදාළ කරුණු රැසක් කෙරෙහි අවධානය යොමු වූ බව නවදිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය කියා සිටී.

ඉන්දීය විදේශ සේවයේ සාමාජිකයෙකු වන ශ්‍රී පන්කජ් සරන් මහතා 2018 වර්ෂයේ මැයි මස නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ධුරයට පත්වීමට පෙර රුසියාවේ ඉන්දීය තානාපතිවරයා ලෙසත් බංග්ලාදේශයේ මහ කොමසාරිස්වරයා ලෙසත් සේවය කර ඇත.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සිය ප්‍රතිපත්ති මාර්ග සිතියම වන “ඉන්දියාවේ ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සඳහා වන ඒකාබද්ධ රාජ්‍ය උපායමාර්ගය 2021/2023” මාර්ගෝපදේශයේ පිටපතක් ද ඉන්දීය නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශකවරයා වෙත පිළිගැන්වූ අයුරු ඡායාරූපයේ දැක්වේ