වැටලීම් නොකරන පොලිස් ප්‍රධානීන්ට එරෙහිව පොලිස්පතිගෙන් දැඩි පියවරක්


(සුජිත් හේවාජුලිගේ )

සාර්ථක වැටලීම් සිදු නොකරන පොලිස් ස්ථානාධිපතිවරුන් හෝ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ට  එරෙහිව  විනයානුකූලව කටයුතු  කරන බව  පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා එම ප්‍රධානීන්ට විශේෂ  චක්‍රලේඛයක් මගින්   දැනුම්දී ඇත.

කිසියම් පොලිස් වසමකට බාහිර පොලිස් කණ්ඩායමක් පැමිණ සාර්ථක මහා පරිමාණ වැටලීමක් කළහොත් එම වැටලීම කළ දිනට පෙර මාස හයක කාලයේදී ඒ වසමේ කරන ලද වැටලීම් පිළිබඳ වාර්තාවක් කැඳවා  එම කාලය ඇතුළත සාර්ථක වැටලීම් කර නොමැති බවට තොරතුරු අනාවරණය වුවහොත්  අදාල වසමේ පොලිස් ස්ථානාධිපතිවරයාට හෝ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයාට එරෙහිව  විනයානුකූලව කටයුතු කරන බව  එම චක්‍රලේඛයේ සඳහන් වේ .

මෙයට අමතරව දුර්වල පරිපාලනය සම්බන්ධයෙන් වාර්තාවක් අදාළ නිලධාරියාගේ පුද්ගලික ලිපි ගොනුවට ඇතුළත් කිරීමටද  පියවර ගන්නා බව පොලිස්පතිවරයා දැනුම්දී ඇත.

දිවයිනේ ඇතැම් පොලිස් වසම්වලට  මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය සහ  විශේෂ කාර්ය බලකාය ආදි පොලිස් කණ්ඩායම්  පැමිණ මහ පරිමාණ මත්ද්‍රව්‍ය, මත්පැන්, වැලි ගොඩදැමීම් හා කැලෑ කැපීම් ආදි ජාවාරම් පිළිබඳව සාර්ථක වැටලීම් සිදුකර ඇති බව වාර්තා අධ්‍යයනයේදී  පෙනී යන බවත්   එම පොලිස් වසම්වල දූෂණ මර්දනය සම්බන්ධ පොලිස් පරිපාලනය බිඳ වැටී ඇතැයි  එමඟින්  තහවුරු වන බවත් පොලිස්පතිවරයා පවසයි.

සෑම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයකුම, පොලිස් ස්ථානාධිපතිවරයකුම බුද්ධි අංශ නිලධාරීන්ගෙන්  පෞද්ගලික ඔත්තුකරුවන්ගෙන්  තොරතුරුකරුවන්ගෙන්  හා ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් ගෙන් සාර්ථක තොරතුරු ලබාගෙන අපරාධ සහ නීති විරෝධී ක්‍රියාකාරකම් අවම කර ගැනීමට වග බලා ගත යුතු බවද පොලිස්පතිවරයා එම චක්‍රලේඛය  මගින් වැඩිදුරටත් දැනුම්දී ඇත.