වසර 3ක් තිස්සේ බන්ධනාගාර පුරප්පාඩුවලට බඳවාගැනීම් කල්යයි


(ජයන්ත සමරකෝන්)
 
බන්ධනාගාර නියාමක පුරප්පාඩු 1500ක් සඳහා සුදුස්සන් බඳවාගැනීම වසර 3ක් තිස්සේ තෙවන වතාවටත් කල් දැමීමට සිදුවී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
 
2017 නොවැම්බර් 11 දින ගැසට් පත්‍රයේ පළකරමින් සම්මුඛ  පරීක්ෂණ පැවැත්වීමේදී බඳවාගැනීමේ පටිපාටියේ දෝෂයක් බව කියමින් පසුගිය රාජය සමයේ නැවත මෙම ඇබෑර්තු ගැසට් කරනු ලැබීය.
 
එහිදී සම්මුඛ පරීක්ෂණ සඳහා දෙපාර්තමේන්තුවට වැය වී ඇති මුදල රුපියල් ලක්ෂ 46ක් බවද පැවසේ.
 
පසුව 2019 වසරේ නැවත බඳවාගැනීම් සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ පවා අවසන් කර තිබියදී ජනාධිපති මැතිවරණය හේතුවෙන් එම බඳවාගැනීම් අත්හිටුවා තිබුණි.
 
නැවත එම බඳවාගැනීම් මහ මැතිවරණය හේතුවෙන්, යළිත් කල්දැමීමට සිදුවී ඇතැයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
 
මෙම කාලය තුළ කිසිදු බඳවාගැනීමක් සිදුනොකරන ලෙසට ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍ර ලේඛයක් මගින් සියලුම රාජ්‍ය ආයතන දැනුවත් කිරීම මීට හේතු වී ඇතැයි වාර්තා වේ.
 
බන්ධනාගාර මූලස්ථානයේ උසස් නිලධාරියෙකුගෙන් මේ පිළිබඳව විමසීමේදී අදාළ බඳවා ගැනීම් සම්බන්ධයෙන් කිසිදු අනුමැතියක් ලැබී නොමැති බව සඳහන් කළේය.