ලිට්‍රෝ සමාගමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න


(යොහාන් භාසුර)

පරීක්‍ෂණාගාරවල පරීක්‍ෂණ සඳහා යොදාගන්නා ගෙම්බන්ගේ තත්වයට ලිට්‍රෝ ගෑස් සමාගම ජනතාව පත්කර ඇති බවත් කිසිඳු වගකිව යුතු ආයතනයක අවසර නොමැතිව ගෑස් සංයුතිය වෙනස් කිරීම පිළිබඳව ලිට්‍රෝ සමාගමට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් මහජන යුතුකම් කේන්ද්‍රයේ සභාපති ජබුරේවෙල චන්ද්‍රරතන හිමියෝ ප්‍රමුඛ සිවිල් සංවිධාන රැසක් පාරිභෝගික කටයුතු අධිකාරියට අද (02) පස්වරුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

දින කීපයකට පෙර සංයුතියේ වෙනස් කළේ නෑ යැයි පැවසූ ලිට්‍රෝ සමාගම දැන් සංයුතිය වෙනස් කළ බව පිළිගන්නේ නම් එම සමාගම ජනතාව රැවටා ඇති බව කී ජබුරේවෙල චන්ද්‍රරතන හිමියෝ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය උදුරාගැනීමට උත්සහ කරන මෙම ආයතනයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද පැවසූහ.

එහිදී උඩුදුම්බර කාශ්‍යප හිමියෝ පැවසුවේ ලිට්‍රෝ ගෑස් සමාගමේ මෙම හැසිරීම වන්දි ගෙවීමෙන් ප්‍රතිපූර්ණය කළ නොහැකි බවත් වැරදිකරපු අයගෙන් ලබාගෙන වන්දි ගෙවීමට කටයුතු කළ යුතු බවත්ය.

පාරිභෝගික අධිකාරිය මහජන මුදලින් නඩත්තු වන රටේ සියලුම ජනතාවගේ පාරිභෝගික අයිතීන් ආරක්‍ෂා කිරීමට තිබෙන ආයතන බවත් එම ආයතනය මෙම ගැටලුව සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය සිවිල් සංවිධාන ලෙස අවධානයෙන් සිටින බවත් උඩුදුම්බර කාශ්‍යප හිමියෝ වැඩි දුරටත් පැවසූහ.