රෝහිතගේ ’’සුප්‍රීම් සැට්’’ එකට ආණ්ඩුවෙන් මුදල් නෑ


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ බව කියන 'සුප්‍රීම් සැට් සන්නිවේදන චන්ද්‍රිකා ව්‍යාපෘතිය' සඳහා ශ්‍රී ලංකා රජය කිසිදු මුදලක් වැයකර නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී   පැවසුවාය

එමෙන්ම එම ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන දහස් ගණනක ආදායමක් ලැබී ඇති බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය

ඇය මෙම අදහස් පළකළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක මහතා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  මෙනවිය මෙසේද පැවසුවාය

2011/2012 කාලයේදී සුප්‍රිම් ග්ලෝබල්  ආයතනයට අනුබද්ධිත සුප්‍රිම් සැට්  සමාගම ක්‍රියාත්මක කළ සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා ආයෝජනය කර ඇති මුදල පිළිබඳව අහල තියෙන ප්‍රශ්නය අනුව Supreme Sat සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම්ගත වී තිබෙන්නේ 2012.05.23 දින.  2013/2014 කාලය තුළ මෙම ආයතනය රුපියල් දොළොස් මිලියන එක් ලක්ෂ හාර දහස් නවසිය තිස් හයක මුදලක් සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා යොදවල තියෙනවා.