රටේ වෙන දේවලට ආදිවාසී නායකයාටත් ලැජ්ජා හිතිලා


මේ වන විට රටේ ඇති අර්බුදය හේතුවෙන් ලෝකයේ ජනතාව අතර අපේ රට පිළිබඳව කිසියම් නොසතුටක් ඇති බව තමන්ට ඔවුන්ගේ ඉරියව් වලින් දැනගන්නට හැකි වු බවත් එයට හේතුව රටේ පාලනය කරන ඇත්තන් රට කරවන තැන කරනු ලබන හැසිරිම බවත් ශ්‍රී ලංකාවේ ආදි වාසි නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තෝ පවසති. පසුගියදා  ඉන්දියාවේදි පැවැති රටවල් 28 ක පාරම්පරික වෛද්‍යවරුන්ගේ පාරම්පරික වෛද්‍ය සම්මේලනයකට සහභාගි වු අවස්ථාවේදි  තමන් එසේ මහත් අපහසුතාවට පත්වූ බවද වන්නියලැත්තෝ පැවසූහ. 

ආදිවාසිනායක වන්නිල ඇත්තන් මෙසේ පැවැසුයේ අද (23) පෙරවරුවේ විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් වෛද්‍යවරුන් ඇතුලු විද්වතුන්ගෙන් සමන්විත විජයග්‍රාහී ජාතික සංවිධානයේ නියෝජිතයන් පිරිසක් ආදිවාසි නායකයා හමුවු අවස්ථාවේදිය.

‘‘ඇත්තටම මේ පාර්ලිමේන්තුවේ ඉන්න අය ගුටි පොජ්ජ මන්දු කරගන්නව (ගහ ගන්නව), කටපිච්චෙන කුඩු පොජ්ජ (මිරිස් කුඩු) මන්දු කරගන්නව. මේව ළා කැකුලො මන්දු කරන වැඩ පොජ්ජවල්“ බවද ආදි වාසි නායකයා පැවැසිය.

බවත් ඒ සම්බන්දව ආදිවාසිනායකවරයා මෙසේ අදහස් ප්‍රකාශ කලේය.

“ඒ රටවල් 28 අතරෙ මට පොඩි රුකුල් පොජ්ජක් (පොඩි කාමරයක්) තිබ්බ. ඒකේ ශ්‍රී ලංකාව කියල නම ගහල තිබ්බ. මම එතන මගේ පාරම්පරික  වෛද්‍ය උපකරණ බෙහෙත් ඖෂධ ආදිය තියල තිබ්බ. එක එක රටවල් වල අය ඇවිත් ශ්‍රී ලංකා බෝඩ් එක බලනව. මම ඒ අයගෙ මුහුණ දිහා බලල ඒ, ඉරියව් වලින් තමා අපේ රට කෙරෙහි  වෙනත් රටවල් වල ජනතාවගෙ කැමැත්ත අකමැත්ත බැලුවා.“

“සමහර අය එතනට ඇවිත් බෝල ගහන කැකුළන්ගෙ නම් කියල නියමයි කියනව. සමහර අය මගෙ බෙහෙත් ඖෂධ බලල හොඳයි කියනව. ශ්‍රී ලංකාව කියන බෝඩ් එක දැක්කම තවත් සමහර අයගේ මූණ අඳුරු වෙනවා“

‘‘ අපේ රටේ නම ලෝකෙට යකකොට සමහර කොටසක් සතුටු වෙනව සමහර කොටසක් අපව අප්‍රිය කරන බව මට එයින් තේරුණා. මේකට හේතුව තමා මේ රටේ ඉන්න සියලුම නායකයන්. ඒ ගොල්ලන් කල්පනා කරන්න ඕන තමන්ගෙ බලය හා ශක්තිය ගැන නෙමේ. ජනතාවත් සියලු නායකයොනුත් කල්පනා කරන්න ඕන අපේ රට, ජාතිය,ආගම,සංස්කෘතිය රැක ගන්න ඕන කොහොමද කියලයි“

“අපේ රටේ මේ අර්බුදය ඇතිවන අවස්ථාවෙ මම වෛද්‍ය සම්මේලනයකට සහභාගි වෙලා හිටියෙ ඉන්දියාවෙ. මාත් එක්ක ගිය අය කිව්ව අපේ පාර්ලිමේන්තුවේ කට පිච්චෙන කුඩු පොජ්ජවල් මන්ද කරගෙන (මිරිස් කුඩු ගහගෙන) කියල. ඇත්තටම කල්පනා කරපුවම මේක කොයි තරම් පහත් වැඩක්ද ? මේව මේ ළා කැකුළන් කරන වැඩ. ළා කැකුළන් එකට එකතු උනාම ගුටි පොජ්ජවල් මන්දු කරණව (ගහ ගන්නවා). හැපුම් පොජ්ජ මන්දු කරනව (හපා කනවා)“

“අපේ රටේ ලොකු ඉතිහාසයක් තියෙනව. ඒ ගෞරවය අපි තියාගන්න ඕන. ඒ බව සියලු නායකයන් සිතිය යුතුයි“ යයිද ආදිවාසී නායකයා පැවසීය. 

ආදිවාසී නායකයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය. 

“රටක් හැටියට ජාතියක් හැටියට ලෝකෙට කතා කරන්නෙ මේ රට මහ ජාතියක් කියලයි. මහ ජාතියයි කියල කියන මේ අයගෙ ප්‍රතිපත්ති හැසිරීම මේකද? මේ අයගෙ සංස්කෘතිය මේකද කියල ලෝකෙ ජනතාව හිනාවෙනවා“.

“මම කතා කරන්නෙ නැ අර ජාතිය මේ ජාතිය ගැන. මේ හැම දෙයක්ම විකාරයක්. මිනිස්සු හැටියට මේ ලෝකෙට ඉපදුනේ එක්කෙනයි. අපි සියලු දෙනාම මේ රටේ සහයෝගයෙන් එකට ජිවත් විය යුතුයි“

රටේ අර්බුදකාරි තත්වයට සියලු ජාතින්ගේ ආගමික නායකයන් එකතුව යම් තිරණයකට පැමැණිය යුතුයි. මේ අවස්ථාවේදි, විශේෂයෙන්ම මල්වතු මහානායක හිමිවරුන් හා අස්ගිරි පාර්ශවයේ මහානායක හිමිවරුන් ඇතුලු සියලුම ආගමික නායකයින් එකතුව රටේ ගැටලුව විසදා ගැනිම සදහා නායකයන්ට උපදෙස් දිය යුතු බවද ආදි වාසි නායයා පැවැසිය.

“රජ කාලෙත් කපුවල ඇත්තන්ගෙ උපදෙස් අනුව තමා රට පාලනය කෙරුවෙ ඒ නිසා ඒ ආගමික නායකයන්ගෙ උපදෙස් මත රට පාලනය කල යුතුයි“ යයිද ආදි වාසි නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ පැවසූහ. 

ආදිවාසී නායකයා හමුවීමේ අවස්ථාවට විජයග්‍රාහී ජාතික සංවිධානයේ ගිහි අනුශාසක ජේෂ්ඨ මහාචාර්‍ය එම්.ඩි.ආර්.හේරත්, සභාපති ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න, ජාතික සංවිධායක වෛද්‍ය ජීවක බණ්ඩාර, මහාචාර්‍ය කේ.එම් විජ්රත්න, සහ ගණකාධිකාරි නාමල් බණ්ඩාර යන විද්වතුහු සහභාගි වූහ.