මේක දේශපාලන කුමන්ත්‍රණයක් යයි පාඨලීත් රාජිතත් කියති


(අංජුල මහික වීරරත්න)

අමාරු කාලයක ජනතාවගේ ජිවිත තවත් අර්බුදයට ඇද නොදමා වහා පාර්ලිමේන්තුව කැඳවන්නැයි එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවකදී පැවැසීය. 


මෙම මාධ්‍ය හමුව  ඊයේ (27)  අරලියගහ මන්දිරයේදී පැවැත්විණ. 


පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ඇත්තේ තමාට බැවින් තමා නිත්‍යානුකුල අගමැති බව කී වික්‍රමසිංහ මහතා සියලු ක්‍රියා මාර්ග ගත යුත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බවද පැවැසීය. ව්‍යවස්ථාවට පටහැනිව ගත් කිසිදු ක්‍රියාමාර්ගයක් වලංගු නොවන බවද වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.


කොළඹ අරලියගහ මන්දිරයේ පැවති මෙම මාධ්‍ය හමුවට රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරමින් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලුම පක්‍ෂ වල නායකයෝද එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුද මන්ත්‍රීවරුද සහභාගී වූහ.


එහිදී රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය. 


ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ බහුතරයක් හිමි තැනැත්තා අගමැති ලෙස ක්‍රියා කරනවා.එම බහුතර සහයෝගය මට තිබෙනවා.

විශ්වාස භංගය පරාජය කිරීමෙන් ඒ සහයෝගය තහවුරු කළා. එක්සත් ජාතික පෙරමුණේ සියලුම නායකයින් අද මෙහි පැමිණ සිටිනවා. මේ සම්බන්ධයෙන් අර්බුදයක් අවශ්‍ය නැහැ. පාර්ලිමේන්තුව කැඳවා පාර්ලිමේන්තුවට තීරණය ගැනීමට ඉඩ දිය යුතුයි. 


අමාරු කාලයක මිනිසුන්ගේ ජිවිත තවත් අර්බුදයට ඇද දැමීම සඳහා කටයුතු කළ යුතු නැහැ. ජනතාවගේ ජිවිත සටන තවත් උග්‍ර කිරීමට අපට අවශ්‍ය නැහැ. 


අර්බුදයක් තිබේ නම් එය කෙසේ හෝ විසඳීමට හැකියාව තිබෙනවා. එම නිසා අර්බුද නිර්මාණය නොකර පාර්ලිමේන්තුව වහාම කැඳවන්න. 


දෙමළ ප්‍රගතිශීලි සංවිධානයේ මහා ලේකම් ජාතික භාෂා සහ සංහිඳියා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා මෙසේ පැවසීය. 


එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුවේ කොටස්කාර සංවිධානයක් ලෙස අපට මන්ත්‍රීවරුන් 6ක් සිටිනවා. අප පිළිගන්නා අගමැතිවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතායි. කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව රැස් කළ පසුව අප අපේ බහුතරය පෙන්වනවා. ජන වරමට විරුද්ධව යන්න කිසිවෙකුටත් අයිතියක් නැහැ.


විස්වාස භංග යෝජනාවේදීත් රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළා. බහුතරය තිබෙනවායයි කියන අය තිබෙන බහුතරය පෙන්වන්න. පාර්ලිමේන්තුව රැස් කරන්න. තිබෙන ප්‍රශ්න මදිවාට අලුත් ප්‍රශ්න ඇති කරන්න එපා.

ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙසේ පැවසීය. 


ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් අගමැති ඉවත් කළ බවත් මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැති ලෙස පත් කළ බවත් පැවසුවා. මේ ක්‍රියාවලිය දේශපාලන කුමන්ත්‍රණයක් පමණයි. මේවා ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවාදී ප්‍රතිපත්ති වලට පටහැනියි. 


වත්මන් ජනාධිපතිට එම ධූරය ලැබුණේ මෙහි සිටින පක්ෂ නායකයින් ඇතුළු ජනතාව දුන් ශක්තිමත් ජන වරම නිසයි. අප චන්දය දුන් ජනතාවට සෑම විටම ගුණ ගරුක විය යුතුයි. 


එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජාතික රජයෙන් ඉවත් වීමට හැකියාව තිබෙනවා. නමුත් අගමැති ඉවත් කිරීමට කිසිවෙකුටත් හැකියාවක් නැහැ. 


පාර්ලිමේන්තු කුමන්ත්‍රණයක් කරනවා යනු මෙතෙක් පැවති සාමකාමී වාතාවරණයට මරු පහරක් එල්ල කිරීමක් බව කිව යුතුයි. මැරවරයින්ට රාජ්‍ය ආයතන වලට කඩා වැදී රට ජාත්‍යන්තරය හමුවේ අපකීර්තියට ලක් කරන්නට ඉඩ දෙන්නට බැහැ. අයුතු ලෙස බලතල භාවිතා කර ඔලු ගෙඩි මාරු කරන්න ඉඩ දෙන්නට බැහැ. අයුතු ආකාරයට බලය කොල්ල කන්නට ආවොත් අප ඊටත් සුදානම්. හැට දෙලක්ෂයක ජන වරම වෙනුවෙන් අප හැම විටම පෙනී සිටිනවා. 

නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය ජාතික මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතා:-


පාර්ලිමේන්තුවේ බහුතරය ගැන නිවැරදි සැලකීමක් නැතිව කළ ක්‍රියා දාමය ගැන අප කණගාටුවට පත් වෙනවා. මෙවැනි සිද්ධි හමුවේ ජනතාව නොසන්සුන් වුව හොත් ඒ පිළිබඳව ක්‍රියා කරන්නැයි ත්‍රිවිධ හමුදාවෙන් මෙන්ම පොලිසියෙන්ද ඉල්ලා සිටීමට කැමතියි.


බහුතරය අහිමි වු බවට නිවැරදි අවබෝධයක් නැතිව අගමැතිවරයා ඉවත් කිරීමට යාම නීති විරෝධියි. අප සියලුම පක්‍ෂ නායකයින් එකමුතුව රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සිටින බවට මෙහිදී ප්‍රතිඥා ලබා දෙනවා. 

කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍ය සමස්ථ ලංකා මහජන කොන්ග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් මහතා මෙසේ පැවසීය

.
ප්‍රජාතන්ත්‍රවාදය රැකීම අප සැමගේ වගකීම වෙනවා. අප සමඟ මන්ත්‍රීවරුන් පස් දෙනෙකු සිටිනවා. මේ අර්බුදයට කඩිනම් විසඳුම් සෙවීම සඳහා පාර්ලිමේන්තුව ඉක්මනින් රැස් කළ යුතුයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් ජාතික පෙරමුණේ නායකත්වය මත අප එහි කොටස්කරුවන් ලෙස සිටිනවා. අප ඔහුගේ නායකත්වය පිළි  ගන්නවා.

ජාතික කම්කරු සංගමයේ නායක කඳුරට නව ගම්මාන සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය පලනි දිගම්බරන් මහතා මෙසේ පැවසීය. 


අප යහපාලන රජය පිහිට වුයේ මෙවැනි දේවල් කරන්නට නොවේ. ජන වරම තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාටයි.එමෙන්ම වැඩිම මන්ත්‍රීවරු පිරිසක් සිටින්නේත් එක්සත් ජාතික පෙරමුණ සමඟයි. මන්ත්‍රී බහුතරයක් නැති කෙනෙක් අගමැති කරන්න බැහැ. පාර්ලිමේන්තුවේදී අප එය තීරණය කරමු. අප හැම විටම රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සිටිනවා. 

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේ පැවසීය. 


පාර්ලිමේන්තුව වහාම කැඳවන්නැයි ජනාධිපතිට සහ ඊනියා හොර අගමැතිට අප අභියෝග කරනවා. මෙය ව්‍යවස්ථා දායක කුමන්ත්‍රණයක් පමණයි. 


අප තනතුරු අතහැර දමා මරණය පෙනී පෙනී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කළා. රනිල් වික්‍රමසිංහ මහතා තම ජනාධිපති අපේක්‍ෂකත්වය පුජා කොට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නට ඉඩ ලබා දුන්නා. අප පැවතී පාලනය වෙනස් කළේ රටේ වෙනසක් කරන්නට මිස පක්ෂයක් හෝ නායකයෙක් වෙනස් කරන්නට නොවේ. මේ ජනාධිපතිවරයා මේ සියල්ල වෙනස් කිරීමට නායකත්වය දෙනු ඇතැයි අප සිතුවා. වංචා දුෂණ මිනීමැරුම් ගැන සොයනු ඇතැයි අප සිතුවා. 


පසුගිය කාලයේ යහ පාලනයට සම්බන්ධ  නැති තීන්දු තීරණ රැසක් ජනාධිපතිවරයා විසින් ගනු ලැබුවා. වර්තමානයේ ක්‍රියාත්මක වන දේශපාලන කුමන්ත්‍රණය පරාජය කිරීමට ඕනෑම කැප කිරීමක් කරනවා. අද අප රාජ්‍ය බලයට ධන බලයට මැර බලයට මුහුණ දෙන්න ලෑස්තියි. පාර්ලිමේන්තුව කල් දාන්න එපා. එය අවලස්සන වැඩක්.


මා තම සටන් සගයා යැයි ජනාධිපතිවරයා වරෙක පැවසුවා. ඔබ සහ මම ඇරඹු සටන තවම අවසන් නැහැ. ඒ සටන පාවා දෙන්නට එපා යැයි ඉල්ලා සිටිනවා. 


මෙහිදී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න සහ රනිල් වික්‍රමසිංහ මහතා ඊට ලබා දුන් පිළිතුරු මෙසේය.


 ප්‍රශ්නය :-
මේ වන විට පොලිසියට අණ දෙන බලය සතු වන්නේ කාටද?


පිළිතුර :- පොලිස් ආඥා පනතට අනුව පොලිසියට ඇත්තේ නීතිය ක්‍රියාත්මක කිරීමයි. ඊට අමතරව පරිපාලන කටයුතු වලදී අමාත්‍යංශයෙන් උපදෙස් ලබාගත හැකියි. කිසිවෙකුටත් අණ දෙන්න හැකියාවක් ඇතැයි පොලිස් ආඥා පනතේ වගන්තියක් නැහැ. යම්කිසි කාරනා සම්බන්ධයෙන් පළාත් මහා ඇමතිවරයාට නියෝග දිය හැකි බවට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් වෙනවා.


ප්‍රශ්නය:- පාර්ලිමේන්තුව රැස් වන තුරු රටේ අගමැතිවරයා කවුද?


පිළිතුර:- අගමැතිවරයා වන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ඇති තැනැත්තායි. ව්‍යවස්ථාවට අනුව අගමැති ඉවත් කළ හැක්කේ අයවැය පරාජය වුවහොත් හෝ විශ්වාස භංගයකින් පරාජය වුවහොත් පමණයි. ඒ කරුණු හැර ඉවත් කරන්නට බැහැ. ඉල්ලා අස් විය යුතුයි. පාර්ලිමේන්තුව කැඳවන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ව්‍යාකූල තත්වයක් ඇති නොකිරීම සඳහායි. එවැනි අවස්ථාවක පාර්ලිමේන්තුව කල් දමනවා යනු මහජනයා කෙරෙහි විශ්වාසයක් නොමැති වීමයි.


ප්‍රශ්නය:- අගමැති ඉවත් කළා යැයි ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කළා. ඒ නිවේදනය වලංගු නැද්ද?


පිළිතුර:- ඕනෑම ක්‍රියා මාර්ගයක් ගන්නට හැකියාව ඇත්තේ ව්‍යවස්ථාවට අනුකුලවයි.ව්‍යවස්ථාවට පටහැනිව ගත් ක්‍රියා මාර්ග වලංගු වන්නේ නැහැ. 


ප්‍රශ්නය:- ජනපති එක් වරම ඔබ සමඟ විරසක් වුයේ ඇයි?


පිළිතුර:- ඒ ප්‍රශ්නය ඇසිය යුත්තේ මගෙන් නොවේ.


ප්‍රශ්නය:- දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ජා කළාද?


පිළිතුර:- පාර්ලිමේන්තුව කල් දැමූ නිසා දෙමළ ජාතික සන්ධානය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ සමඟත් සාකච්ජා කළ යුතුව තිබෙනවා. 


ප්‍රශ්නය:- මෙවැනි තත්ත්ව නිසා රට අරාජික වෙනවා. ජනපති සමඟ මේ ගැන සාකච්ජා කරන්නේ නැද්ද? 


පිළිතුර:- (රාජිත සේනාරත්න මහතා) මා හැමදාම එක තින්දුවක ඉන්නවා. වැරදි කරුවන් සමඟ ගණුදෙනුවක් නැහැ. ජනපති තරහ වුනේ ඇයි දැයි ඔබ අහනවා. මහින්ද රාජපක්‍ෂ සමඟ එක පාරටම යාලු වුනේ ඇයි දැයි අහන්න. 


ප්‍රශ්නය:- ඔබේ ඊළඟ පියවර කුමක්ද?


පිළිතුර :- පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි. ඒ අනුව කතා නායකවරයා මුණ ගැසෙනවා. ඊළඟට ගන්නා පියවර ගැන ඉදිරියේදී කියන්නම්.


ප්‍රශ්නය :- දෙපැත්තේම ජනතාව දැන් කොළඹට එමින් සිටිනවා. මෙයින් අනාරක්ෂිත බවක් ඇති වෙනවා නේද?


පිළිතුර:- අපේ අය ආවේ සිදු වුයේ කුමක් දැයි දැන ගැනීමටයි. මාධ්‍ය සියලු තොරතුරු දුන්නේ නම් ජනතාව එන්නේ නැහැ. නීතිය සහ සාමය ආරක්ෂා කරන ලෙස පොලිස්පතිවරයාට දැනුම් දුන්නා.


ප්‍රශ්නය :- පොලිස්පතිවරයා මහින්ද රාජපක්‍ෂ මහතා හමු වී තිබෙනවා නේද?


පිළිතුර :- එලෙස හමු වු බව පොලිස්පති සඳහන් කළා. එහි ප්‍රශ්නයක් නැහැ. එන්න කියූ නිසා ඔහු ගිහින් තිබුනා.


ප්‍රශ්නය:- රාජ්‍ය නිලධාරීන් ක්‍රියාත්මක කළ යුත්තේ කාගේ නියෝගද?


මෙය විශාල ප්‍රශ්නයක් නේද?


පිළිතුර:- පාර්ලිමේන්තුව කැඳවු විට සියලු ප්‍රශ්න අවසන් වෙනවා. එක් පාර්ශවයකට බහුතරය පෙන්වීමට හැකි වෙනවා. 


ප්‍රශ්නය:- ජනපති ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව ඔබ නිසි ක්‍රියාමාර්ග ගත්තේ නැතැයි චෝදනාවක් තිබෙනවා.


පිළිතුර:- පොලිසිය, නීතිය සාමය අමාත්‍යවරයා සහ ජනපති ඒ සම්බන්ධව ක්‍රියා කළා. ජනපතිට සම්බන්ධ වුවක් නිසා එතුමා ඒ ගැන සොයා බැලිය යුතුයි.


ප්‍රශ්නය:- (රිශාඩ් බදියුදීන් මහතාට) ඔබ මහින්ද රාජපක්‍ෂ මහතා සමඟත් සාකච්ජා කළ බවට තොරතුරු ලැබුණා, එය සත්‍යයක්ද?


පිළිතුර:- මා එලෙස හමු වුයේ නැහැ. එවැනි දේ කියන්නේ මාධ්‍යයයි. 


ප්‍රශ්නය:- දැන් මහා මැතිවරණයක් පැවැත්වීය නොහැකිද?


පිළිතුර:- මැතිවරණයක් පැවැත්වීමට පෙර නිත්‍යානුකුල ආණ්ඩුවක් පැවතිය යුතුයි.


ප්‍රශ්නය:- මේවනවිට රාජ්‍ය මාධ්‍ය ආයතන පාලනය කරන්නේ කවුද?


පිළිතුර:- සමහර මාධ්‍ය ආයතන වලට නොයෙක් කණ්ඩායම් ඇතුළුවී තිබෙනවා.ඒ පිළිබඳව පොලිසියට දැනුම් දී තිබෙනවා. 


ප්‍රශ්නය:- මෛත්‍රීපාල සිරිසේන ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එනවාද?


පිළිතුර:- නොයෙක් යෝජනා තිබුනා. පළමුව අප ඉල්ලන්නේ පාර්ලිමේන්තුව කැඳවන ලෙසයි.


රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් එක්සත් ජාතික පාක්ෂිකයෝ දහස් ගණනක් අරලියගහ මන්දිරයට ඊයේ (27) ඒකරාශී වී සිටියහ.

මාධ්‍ය හමුව අවසන් වීමෙන් පසුව වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් අතරට ගොස් ප්‍රජාතන්ත්‍ර විරෝධි කිසිඳු ක්‍රියාවකට ඉඩ නොතබන බව අවධාරණය කළේය.

 (ඡායාරූප- ඉෂාන් සංජීව )