
(නිමල කොඩිතුවක්කු)
බොරුවෙන් බලයට පත්වූ ආණ්ඩුව වසර දෙකහමාරක් බොරුව වපුරවමින් ජනතාව රවටමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කොළඹදී පැවසීය.
දුන් පොරොන්දු කිසිවක් ඉටුකිරීමට නොහැකි වූ ආණ්ඩුව රට හමුවේ විහිලුවක් බවට පත්ව ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කලේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්්‍යාලයේ පැවති මාධය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෙසේද කීවේය.
“මේ ආණ්ඩුව බලය ගන්න කලිනුත් රටේ ජනතාව රැවැට්ටුවා බලය ලබා ගෙනත් අවුරුදු දෙකහමාරක් වෙනවා තවමත් ජනතාව රවට්ටනවා. ගිය අවුරුද්දේ මේ ආණ්ඩුව කිව්වා අපි 2022 වෙනකොට ඉන්දිවටත් විදුලිය ලබා දෙනවා කියලා. දැන් මේ ආණ්ඩුව අද විදුලිය කපන්න අවසර ගන්නවා. ඒක පුදුම වැඩක් අපේ ගෙදර විදුලිය කපන්න වෙන කවුරුත් අවසර දීලා හරියන්නේ නැහැ. මේක බරපතළ කාරණාවක්. කරුණාකරලා විදුලිය කපන එක නතර කරන්න. අද රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි රටක් බවට පත් කරලා. මේ රටේ ජනතාව තවදුරටත් රටින් පැනලා යන තත්ත්වයට පත් කරන්න එපා. විදුලිය කියන්නේ සුඛෝපබෝගී දෙයක් නෙමෙයි. ඒක අයිතිවාසිකමක්.
අද මේ ආණ්ඩුව රට හමුවේ විහිලුවක් බවට පත්වෙලා. විදුලිය කපන්නේ නැහැ කියලා ඇමතිවරයා කියනවා. විදුලිය කපනවා කියලා සාමාන්‍ය අධිකාරිතුමා කියනවා. අද දවස තුළ විදුලිය කපන්නේ නැහැ කියලා උදේට කියලා හවසට විදුලිය කපනවා. ස්වාභාවිකව හෝ වෙනත් හේතුවකින් තොරව ආර්ථික අර්බුදය නිසා සූක්ෂම අන්දමින් විදුලිය කප්පාදු කරන්න පටන් අරගෙන තියෙනවා.
මෙම තත්වයට විසදුමක් ලෙස යහපාලන ආණ්ඩුව කාලයේ අපි පුනර්ජනනීය බලශක්තිය සඳහා විශාල ප්‍රවේශයක් ලබාදුන්නා. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය කඩාගෙන වැටිලා. බොරුවට බෝඩ් ලෑල්ලක් පමණයි තියෙන්නේ. මේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය සාර්ථකව කරගෙන යන්න එසේ නොවුනොත් විශාල අර්බුදකාරී තත්ත්වයට පත්වෙනවා. සුළං බලශක්තිය හිරු එළියෙන් ලබාගන්නා බලශක්ති ව්‍යාපෘතීන් සඳහා අවශ්‍ය අවසර ලබා දෙන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.
දැන් ගෑස් පෝලිම තවත් දික් වෙලා. ගෑස් පෝලිමේ ඉඳන් ගෑස් ගත්තට පස්සේ ගෑස් එක ලිපට ගහලා හෙල්මට් එක දාගෙන ඉන්න වෙලා. තවම පිපිරීම් ඒ හා සමානවම සිදුවෙනවා. හැබැයි ඒ අයට වන්දි ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ. ගෑස් පිපිරීම් වලට ලක් වෙච්ච ජීවිත හානි සිදු වෙච්ච ශරීරයට හානි සිදු වෙච්ච නිවාස දේපළ වලට හානි වෙච්ච අයට වන්දියක් ලබා දෙන්න තියා ඇස්තමේන්තුවක් කරන්න රජය උත්සාහ කර නැහැ. ලිට්රෝ ආයතනය කියන්නේ 100%ක් රජයට අයිති ආයතනයක්. වන්දිය ඇස්තමේන්තු කරලා එය ලබා දෙන්න කියලා වහාම සභාපතිවරයාට අධ්‍යක්ෂක මණ්ඩලයටත් උපදෙස් දෙන්න ඕන.

