
(යොහාන් භාසුර)
රට තුළ දැඩි සිමෙන්ති හිඟයක් පවතින බවත් ඒ හේතුවෙන් සිමෙන්ති වැඩි මිලට ගැනීමට සිදුවී ඇති බවත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියලෙන්නෝ පවසති.
කිලෝ 50 සිමෙන්ති කොට්ටයක් රුපියල් 1375 කට අළෙවි කරන බව සිමෙන්ති සමාගම් පැවසුව ද මේ වන විට සිමෙන්ති කොට්ටයක් රුපියල් 1700 සිට 2000 දක්වා මිලට අළෙවි වන බවත් සිමෙන්ති හිඟය හේතුවෙන් ඉදිකිරීම් රැසක් අතමඟ නතර කර ඇති බවත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ බොහෛා් දෙනා කියති.
සිමෙන්ති හිඟයට ප්‍රධාන හේතුව සෙසු භාණ්ඩවලට මෙන්ම ආනයන සඳහා අවශ්‍ය ඩොලර් නොතිබීම බවත් බැංකුවලින් ණයවර ලිපි විවෘත කරගැනීමට නොහැකිව සිටින බවත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන සිමෙන්ති සමාගමක උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය.
ශ්‍රී ලංකාවේ සිමෙන්ති ඉල්ලුමෙන් සියයට 60 ක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර ඉතිරි සියයට 40 ආනයන කරන බව කී එම නිලධාරියා ඩොලර් ප්‍රශ්නය හේතුවෙන් බොහෝ සමාගම් ආනයනය අත්හිටුවීම මෙම තත්වය හේතුව බව ද සඳහන් කළේය.
දේශීය සිමෙන්ති නිෂ්පාදනයේ සැළකිය යුතු අඩුවක් වී නොමැති බව සඳහන් කළ එම නිලධාරියා සිමෙන්ති හිඟයක් පැවතීම හේතුවෙන් මහා පරිමාණ ඉදිකිරීම් සමාගම් සහ පුද්ගලයන් සිමෙන්ති රැස්කිරීම නිසා දැඩි හිඟයක් නිර්මාණ වී ඇතැයි ද කීය.
සිමෙන්ති කොට්ටයක මිල පසුගිය ජනවාරි මස 1 වැනිදා රුපියල් 100 කින් ඉහළ දැමීමට ද සමාගම් කටයුතු කළේය.

