නාල්ල-කොටදෙණියාව පාර ජලයෙන් යට වෙයි


(පුෂ්පකුමාර මල්ලවආරච්චි) 

දෙසතියක්  ඇතුළත දෙවන වතාවටත් මා ඔය පිටාර ගැලීමෙන් නාල්ල දිවුල්දෙනිය කොටදෙනියාව වැලිහිඳ ප්‍රදේශ අද ( 28)  අලුයම වන විට යළි ජලයෙන් යටවීගිය අතර මාර්ග රැසක වාහන ගමනාගමනය ද අඩාල විය. 

පවුල් 50 ක පමණ ජනතාව මෙම ජල ගැලීම් වලින් විපතට පත් වූ අතර ඔවුනට පිසූ ආහාර ලබා දීමට දිවුලපිටිය මීරිගම  ප්‍රාදේශීය ලේකම් කාර්යාල පියවර ගෙන තිබුණි .

නාල්ල උලු ගෙදර හා කොස්වත්ත ප්‍රදේශයන්හි නිවාස 20 ක ට පමණ ජල ගැලීමෙන් හානි සිදු වූ අතර දිවුල්දෙනියේ ප්‍රදේශයේ නිවාස රැසක් ද හානියට පත්ව තිබිණි .

දිවුල්දෙණිය කුඩාඔය පාලම අසල සහ කොටදෙනියාව දියගම්පල අසල මාර්ගයේ ජලයේ යට වී තිබීම නිසා පැයක් පමණ වේලා කොළඹ කුරුණෑගල මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා පැමිණියේය.

පසුගිය ගංවතුර නිසා කොටසක් කැඩී ගිය කොටදෙණියාව කටුගම්පොල මිත්‍රත්ව පාලම අද ( 28)  දහවල් වන විටත් අඩි හතරක් පමණ ජලයෙන් යටවී තිබෙනු දැකිය හැකි විය .

වැලිහිඳ  ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් කොටදෙණියාව මීගමුව මාර්ගයේ වාහන ගමනාගමනයට දැඩි ලෙස බාධා පැමිණුන අතර එම ප්‍රදේශයේ නිවාස දහයක පමණ ජනතාව ද පීඩාවට පත්ව සිටිති. 

අලුයම හතර පහ පමණ වන විට ජල කද නිවෙස් මට්ටම් දක්වා ගලා ආ බවත්  පෙරවරු නමයෙන් පසු ක්‍රම ක්‍රමයෙන් ජලය බැස යන්නට වූ බවද ජනතාව සඳහන් කළේය .

කොටදෙනියාව මීගමුව මාර්ගයේ මා ඔය ප්‍රදේශයේ ජලය අද (28)  පෙරවරු 11.00 වන විටත් බැස ගොස් නොතිබිණි 

පාර්ලිමේන්තු මන්ත්‍රීනි කෝකිලා ගුණවර්ධන මහත්මිය සහ සමගි ජන බලවේගය මීරිගම ආසන සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී උපුල් දේව වනවාස මහතාද නාල්ල උලු ගෙදර ප්‍රදේශයේ පීඩාවට පත්වූ ජනතාව හමුවී අවශ්‍ය කටයුතු සැලසීමට පියවර ගනු දක්නට ලැබිණි .