දිස්ත්‍රික් මහරෝහල් 5ක් මධ්‍යම රජයට


(අජන්ත කුමාර අගලකඩ)
 
පළාත් සභා යටතේ පාලනය වන දිස්ත්‍රික් මහරෝහල් 5ක් මධ්‍යම රජයට පවරාගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.
 
ඒ අනුව මාතලේ, නාවලපිටිය, ඇඹිලිපිටිය, අවිස්සාවේල්ල සහ ගම්පහ යන දිස්ත්‍රික් මහරෝහල් 5 මධ්‍යම  රජයට පවරා ගැනෙනු ඇත.
 
මෙම දිස්ත්‍රික් මහරෝහල් 5 මධ්‍යම රජයට පවරාගැනීම සඳහා සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කැබිනට් මණ්ඩල අනුමැතියද ඉල්ලා ඇත.
 
මෙම රෝහල් පහේ සෞඛ්‍ය සත්කාරක පහසුකම් වැඩිදියුණු කර ඇති අතර, ඒවා පවත්වාගෙන යාම සඳහා වැඩි වියදමක් දැරීමට සිදුව තිබේ.
 
පළාත් සෞඛ්‍ය අමාත්‍යංශවලට මෙම රෝහල් වඩා හොඳින් පවත්වාගෙන යාමට අවශ්‍ය අරමුදල් නොමැතිවීම නිසා, මෙසේ මධ්‍යම රජයට පවරාගැනීමට තීරණය කර තිබේ.