(ප්‍රසන්න පද්මසිරි සහ පැතුම් දර්ශන)
ත්‍රිකුණාමලය ගෝමරන්කඩවල මැදවච්චිය වැවේ දිය නාමින් සිටි සිසුන් සිව් දෙනෙකු අද (19) දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය කියයි.
අසාධ්‍ය තත්ත්වයේ පසුවූ තවත් තිදෙනෙකු ගෝමරන්කඩවල රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය කීය.
මෙසේ මියගොස් ඇත්තේ බදුල්ල හාලිඇල විද්‍යා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 15 හැවිරිදි සිසුන් පිරිසක් බව පොලිසිය පැවසීය.
මෙම සිසුන් පිරිස ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අධ්‍යාපන චාරිකාවක් සඳහා ගොස් ඇති අතර ගැහැණු ළමුන් 48 දෙනෙකු සහ පිරිමි ළමුන් 45 දෙනෙකු මෙම චාරිකාවට සහභාගී වී ඇති බව පොලිසිය කීය.
දින දෙකක අධ්‍යාපන චාරිකාවේ පළමු දින රාත්‍රීයේ නවාතැන් ගැනීම සඳහා ගෝමරන්කඩවල මැදවච්චිය විහාරස්ථානයට මෙම පිරිස සවස 4.00ට පමණ පැමිණ ඇති බව පොලිසිය සඳහන් කළේය.
සවස 6.00 ට පමණ මෙම සිසුන් පිරිස විහාරස්ථානය අසල ඇති වැවට දිය නෑමට ගොස් ඇති අතර එහිදී මෙම අනතුර සිදුවී තිබේ.
මියගිය සිසුන්ගේ සිරුරු මේ වනවිට ගෝමරන්කඩවල රෝහලේ තැන්පත් කර ඇති බව පොලිසිය පැවසීය.
ඡායාරූප - පාලිත ආරියවංශ



