( +++ විශේෂ වාර්තාකරුවකු විසිනි)
මත්කුඩු සම්බන්ධයෙන් සැකපිට කළුතර ප්‍රදේශයේ පොලීසියට රැගෙන ආ සැකකරුවකු පුටුවක වාඩිකරවා පුටුවට ද සම්බන්ධ වන සේ අත්වලට මාංචු දමා සිටියදී අලුයම 3.00 පමණ පුටුවද හිස මත තබාගෙන මාංචු කුට්ටම පිටින් පැනයාමේ සිද්ධියක් කළුතරින් වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම සැකකරු දින කිහිපයකට පසුව නැවත වරක් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ.
කුඩු සම්බන්ධ චෝදනාවකට සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලීසියේ පුටුවක් මත වාඩිකරවා අත්මාංචු කුට්ටම පුටුවට ද සම්බන්ධ වන සේ දමා ඇත.
අලුයම 3.00 පමණ වන විට පොලීසියේ පිරිසට ද වාඩිවී සිටි ස්ථානවලම නින්ද ගොස් තිබූ අතරවාරයේ ඒ ඇසිල්ලෙන් ප්‍රයෝජනය ගෙන තමා වාඩි වී සිටි යකඩ පුටුව හිස මත තබාගෙන කිලෝමීටර් 2 ක් පමණ දුරින් පිහිටි ඔහුගේ නිවෙසට ගිය බවත් එදින අලුයම තම හිතවතෙකු වූ පරණ යකඩ එකතු කරන්නෙකු හමුවීමට ගොස් මාංචු කුට්ටම ඉවත් කරගත් බවත් අත්අඩංගුවට ගත් සැකකරු පසුව පොලීසියට කියා ඇත.
කෙසේ වුවද සැකකරුවකුට යෙදූ මාංචු කුට්ටමක් ගලවා ඉවත්කර ඔහුට උදව්කිරීමේ වරදට පරණ යකඩ එකතු කරන්නාට මෙතෙක් නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටුයුතු කර නැතැයි ද හීනටියංගල ප්‍රදේශවාසීහු කියති.
එම පරණ යකඩ එකතුකරන්නා පොලීසියට කැඳවා ඇතත් ඔහුට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන මුදාහැරීම සම්බන්ධයෙන් තමන් තුළ සැකයක් මතුව ඇතැයි ද ප්‍රදේශවාසිහු කියති.
මෙම සිද්ධිය පොලීසියේ කිසිදු ලොග් පොතක සටහන්වී නොමැති බව ද කියැවෙයි.

