දකුණු කොරියා ජනපති ජාම බේරා ගනී


(විමුක්ති එස් රුද්‍රිගු)

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල්ට එරෙහිව සභාගත කළ දෝෂාභියෝගය අද (07) එරට පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය.

දෝෂාභියෝගය ජයග්‍රහණය කිරීමට එරට විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට පාලක පක්ෂයේ ඡන්ද 8 ක් අවශ්‍ය වුවත් එරට පාලක පක්ෂය වන " පීපල්ස් පවර්" පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 108 න් 107 ක් ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ අසුන් වලින් නැගිට යාම හේතුවෙන් දෝෂාභියෝගය පරාජයට පත්විය.

පසුව පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු නැවතත් පැමිණියත් දෝෂාභියෝගය ජයග්‍රහණය කිරීමට එය කිසිසේත් ප්‍රමාණවත් නොවීය. ජනාධිපති යුන් සුක් යෝල් ධුරයෙන් ඉවත් කළ යුතු බව " පීපල්ස් පවර්" පක්ෂයේ ස්ථාවරය බව එම පක්ෂයේ ප්‍රධානි හන් ඩොන්ග් හුන් ඊයේ(06) ප්‍රකාශ කර තිබියදී අද (07) ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ අසුන් වලින් නැගිට යාම පිළිබඳව කොරියානු ජනතාවගේ දැඩි විරෝධය එල්ල විය.

දෝෂාභියෝගය ජයග්‍රහණය කිරීමට ඡන්ද 200 අවශ්‍ය වූ අතර විපක්ෂයට පාර්ලිමේන්තුව තුළ සිටින්න මන්ත්‍රීවරුන් 192 ක් පමණක් බැවින් පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් 8 දෙනකුගේ සහාය අවශ්‍ය වූවේය.

කෙසේ වෙතත් ජනාධිපති යුන් සුක් යෝල් ධුරයෙන් ඉවත් කිරීමට ගන්න උත්සාහය අත් නොහරින බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කර ඇත.

ජනාධිපතිවරයා අත් අඩංගුවට ගන්න යැයි බල කරමින් දැවැන්ත විරෝධතාවයක්ද අද(07) පැවැත්විණි.

ජනාධිපති යුන් සුක් යෝල් දකුණු කොරියාවට හමුදා නීතිය පැනවීමට ගත් තීරණයට දැඩි විරෝධයපාමින් එරට විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තවත් විපක්ෂයේ දේශපාලන පක්ෂවල සහාය ලබා ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාව පසුගියදා සභාගත කළේය.