(අලුත්ගම තුසිත කුමාර ද සිල්වා)
දර්ගා නගරයේ තැපැල් කාර්යාලය අද (29) කිසියම් පුද්ගලයකු විසින් එහි ජනේලයක් බිඳ ඇතුලු වී කාර්යාලයේ ලාච්චුවක තිබී රුපියල් තිස් දහසක (රු.30000/-) මුදල් සහ රුපියල් 20,000ක් වටිනා තැපැල් මුද්දර සොරකම් කර ගෙන ගොස් ඇතැයි තැපැල් ස්ථානාධිපතිවරයා අලුත්ගම පොලීසියට පැමිණිලි කර තිබෙන බව කියයි.
ඒ අනුව අද (29) දහවල් 1.00 ට පමණ කලුතර අපරාධ ස්ථාන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් දර්ගා නගරයේ තැපැල් කාර්යාලයට පැමිණ මෙම සොරකම සිදු කර ඇති ආකාරය විමර්ශනය කර එම තොරතුරු සටහන් කර ගැනීම සිදු කළ අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකිරීමට නියමිතය. තැපැල් කාර්යාලයේ දර්ගා නගරය මහජන ක්‍රීඩාංගණය දෙසින් ඇති ජනේලයක් ඉස්කුරුප්පු නියනක ආධාරයෙන් විවර කර එම සොරුන් තැපැල් කාර්යාලයේ පරිශ්‍රයට ඇතුලු වී ඇති බව විමර්ශනයෙන් හෙළි වී තිබේ. එම ජනේලය ද බිඳ ඇතුලත ආරක්‍ෂිත අගුල ඇර මේ තුළින් ඇතුල් වී මෙම සොරකම සිදු කර ඇති බව අනාවරණය කරගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලීසිය සහ කලුතර අපරාධ ස්ථාන ඒකකයේ නිලධාරීන් පරීක්‍ෂණ සිදුකරයි. තැපැල් කාර්යාලය ඉදිරිපිට රජයේ බැංකුවක් ද යාබද ගොඩනැගිල්ලේ ප්‍රාදේශීය සභා උප කාර්යාලය සහ දර්ගා නගර පොලිස් මුරපොල ද පිහිටා තිබෙන බවත් තැපැල් කාර්යාල කාර්ය මණ්ඩලය ප්‍රකාශ කරයි.




