ණයක් ගන්න වෙට්ටුවක් දැමූ සී.අයි ගැන පරීක්ෂණ


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ ගණකාධීකාරිවරියගේ නිල මුද්‍රාව සහ අත්සන ව්‍යාජ ලෙස යොදා ව්‍යාජ දත්ත යෙදූ වැටුප් වාර්තා ඉදිරිපත් කර රුපියල් ලක්ෂ ගණනාවක ණය මුදලක් ලබා ගත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ට එරෙහිව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කළුතර දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

එම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මේ ආකාරයෙන් වංචා සහගත ලෙස ණය මුදල් දෙකක් ලබාගෙන ඇති බවට ද සඳහන් වේ.

සක්‍රීය සේවයේ යෙදෙන පොලිස් නිලධාරීන් ණය ලබාගන්නා රාජ්‍ය ආයතනයක් මගින් එම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ණය මුදල් ලබා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කර තිබු වැටුප් වාර්තාවල යොදා තිබූ දත්ත සම්බන්ධයෙන් ඇති වූ සැකයක් හේතුවෙන් සිදු කළ මුලික සොයා බැලීමේදී එම වැටුප් වාර්තාවේ ව්‍යාජ දත්ත යෙදීමට අමතරව ගණකාධිකාරි වරයගේ නිල මුද්‍රාව ව්‍යාජ ලෙස සකස් කර තබා ව්‍යාජ අත්සනක් ද යොදා ඇති බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා පැවැසීය.

එම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මේ වන විට පානදුර පොලිස් කොට්ඨාසයේ සේවය කරන අතර එලෙස ව්‍යාජ අයුරින් නිල මුද්‍රාව සහ අත්සන යොදා ප්‍රමාණවත් පරිදි වැටුප් ශේෂය තිබෙන බවට වැටුප් වාර්තා ඉදිරිපත්කර අවස්ථා දෙකකදී ණය ලබාගෙන ඇති බවට අනාවරණය වී ඇත.