ඩොලර් බිලියන 2.267ක් ශ්‍රී ලංකා මහ


මේ වසරේ ඔක්තෝබර් මාසය අවසන් වනවිට මෙරට නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.267ක් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන ආර්ථික දත්තවලට අනුව නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 2,267.5ක් (ඇමෙරිකානු ඩොලර් බිලියන 2.267ක්) වන අතර විදේශ මුදල් සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,686.1කි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුව ඇති ශ්‍රී ලංකාවේ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 67.7කි.

විශේෂ ගැනුම් හිමිකම් (එස්.ඩී.ආර්.) යටතේ ඇති සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 128.5ක් යැයි ද මහ බැංකුව සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ ගැනුම් හිමිකම් (එස්.ඩී.ආර්.) යටතේ ඉකුත් අගෝස්තු මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 554.8ක මුදලක් ලැබුණු අතර එම මුදලින් වැඩි ප්‍රමාණයක් මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බවට පරිවර්තනය වී ඇතැයි ද මහ බැංකුව කියයි.

ශ්‍රී ලංකාව සතුව ඔක්තෝබර් මාසය අවසන් වනවිට ඇති රත්තරං සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 384.1 ක් වන අතර අනෙක් සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1.1කි.

මේ අතර චීන මහ බැංකුව සමඟ අත්සන් තබන ලද ස්වැප් පහසුකම යටතේ මෙරටට ලැබුණු රෙන්මින්බි බිලියන 10ක මුදල (ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක මුදල) මීට ඇතුළත් නැතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.