( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
2007 වසරේ දී මාලඹේ කල්වාරි කිතුනු යාඥා මධ්‍යස්ථානයට පහර දී අලාභ හානි සිදු කළේ යැයි චෝදනා ලබා පසුව කොළඹ මහාධිකරණය මඟින් නිදොස් කොට නිදහස් කරන ලද ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් 13දෙනෙකු එරෙහිව නීතිපති විසින් ගොනු කර තිබු අභියාචනා පෙත්සම අද (23) අභියාචනාධිකරණයෙන් ඉල් අස්කර ගන්නා ලදී.
එම පිරිස නිදොස් කිරීමට එරෙහිව නීතිපති විසින් ඉදිරිපත් කළ එම අභියාචනය දීපාලි විජේසුන්දර මහත්මිය සහ අචල වෙංගප්පුලි මහතාගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවු අතර එහිදී මෙම පෙත්සම නීතිපති විසින් අස්කර ගන්නා ලදී.
මෙම අභියාචනා පෙත්සම මීට පෙර කැඳවූ අවස්ථාවේදී විත්තිය විසින් එය පවත්වා ගෙනයාමට නීතිමය ප්‍රතිපාදන නොමැති බවට මූලික විරෝධතාවක් මතුකර තිබුණි.
එම වාතාවරණය මත අදාළ අභියාචනය අද කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ අදාළ අභියාචනය ඉල්ලා අස්කර ගැනීමට නීතිපතිවරයා තීරණය කර ඇති බවයි.
ඒ අනුව අභියාචනාව ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන මෙන්ද ඔහු ඉල්ලා සිටියේය.
ඒ අනුව අදාළ අභියාචනය ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් අභියාචනාධිකරණය විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණය විසින් දුන් නියෝගය තහවුරු කරන බව නිවේදනය කළේය.
2007 වසරේ මාලඹේ පිහිටි කල්වාරි නැමති කිතුනු යාඥා මධ්‍යස්ථානයකට කඩා වැදී පහර දී අලාභහානි සිදු කළේ යැයි චෝදනා කරමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත්කළ කොළඹ මහාධිකරණය විත්තිකාර ඥානසාර හිමියන් ඇතුළු දහතුන් දෙනා එම චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමට නියම කර තිබුණි.
එම තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කළ නීතිපතිවරයා කොළඹ මහාධිකරණය විසින් නිකුත් කර ඇති තීන්දුව නීතියට පටහැනි බවත් මේ හේතුවෙන් මහාධිකරණ තීන්දුව අවලංගු කර විත්තිකරුවන් වරදකරුවන් කරන ලෙස එම අභියාචනයෙන් ඉල්ලා තිබුණි.