ජනපති අභිබවා ආරක්ෂක අංශ වලට නියෝග දෙන්නේ කවුදැයි සෝභිත හිමි අසයි


අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර
 
 
ආරක්‍ෂක විෂයබාර ජනාධිපතිතුමාගේ අනු දැනුමක් නැතුව ඒ අංශ ක‍්‍රියාත්මක් වනවා නම් එය රටේ අනාගත ආරක්‍ෂාව සම්බන්‍ධයෙන් බරපතල ගැටලූවක් මතුවන බව ඕමල්පේ සොභිත හිමියෝ කියති.
 
ඇඹිලිපිටියේ දී අද (20) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසූහ. එම මාධ්‍ය සාකච්ඡාවේ දී තවදුරටත් අදහස් දැක්වූ සොභිත හිමියෝ මෙසේ ද කීහ.
 
ගලබඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා සංදේශයක් ඉදිරිපත් කිරීමට භික්‍ෂුන් වහන්සේලා පිරිසක් පැමිණි අවස්ථාවේ සිදුවුණ ක‍්‍රියාවලිය අතිශයින් සංවේගදායකයි. පසුගියදා ජනමාධ්‍ය මගින් දුටු ඒ දර්ශනය හදවත අතිශයින් කම්පා කරවන එකක්. මේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති ඒ භික්‍ෂූන් වහන්සේලාගෙන කොටසක් ගෙන්වලා සාකච්ඡා කර තිබුණා. 
 
එතුමා ඒ සිද්ධිය දන්නේ නෑ කියලා සමාව ඉල්ලලා තිබුණා. භික්‍ෂූන් වහන්සේලාගේ ඉල්ලීම සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වන්න පොරොන්දුක් වෙලා තියනවා. ඒක ඉතාම හොඳයි. හැබැයි ඒ එක්කම ප‍්‍රශ්න රාශියක් පැන නගිනවා. 
 
නීතිය, සාමය යන විෂයන් සම්බන්ධ විෂයභාරව කටයුතු කරන්නේ ගරු ජනාධිපතිතුමා. එතකොට ගරු ජනාධිපතිතුමාගේ දැනුමකින් තොරව එතුමාගේ විෂය කේෂ්ත‍්‍රයෙහි බලතල ඉක්මවා, කටයුතු කරන්නේ කවුද කියන ප‍්‍රශ්නය පැන නගිනවා.
 
එතකොට එවැනි සිදුවීමක් ජනාධිපතිතුමාගේ අනුදැනුමකින් තොරව සිදුවනවා නම් එය රටේ නීතිය හා සාමය පිළිබඳව බරපතල ප‍්‍රශ්නයක් ඇති කරවනවා. වගකිවයුතු අමාත්‍යාංශයක අණ නියමය කිරීමකින් තොරව ක‍්‍රියා කරනවා නම් පොලීසිය, ආරක්‍ෂක අංශ කාගේ නියමයක් ද කාගේ අණක් ද, කාගේ අදහසක් ද මේ ක‍්‍රියාත්මක කරන්නේ කියන අදහස සාමාන්‍යයෙන් මධ්‍යස්ථ ජනතාව තුල පැනනගිනවා. මෙ වගේ කටයුතු වෙනවානම් ඒක රටේ ආරක්‍ෂාවට බරපතල ප‍්‍රශ්නයක්.