කොරෝනා වයිරසයේ අවදානම් මට්ටම ඉහළට


කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසයේ අවදානම් මට්ටම ඉහළ නැංවීමට රෝග නිවාරණය සහ පාලනය සඳහා වන යුරෝපීය මධ්‍යස්ථානය පියවර ගත්තේ යැයි යුරෝපා සංගම් කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩ ලියෙන් අද (02) ප්‍රකාශ කළාය.

‘‘යුරෝපා සංගමයට අයත් රටවල සිටින ජනතාවට අපි සාමාන්‍ය අවදානම් මට්ටමක් ප්‍රකාශ කර තිබුණා. අපි එය ඉහළට ඔසවනවා. ඒ කියන්නේ වයිරසය මේ කලාපයේත් ව්‍යාප්ත වෙමින් තිබෙනවා’’ යැයි ඇය කීවාය.

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් රෝග නිවාරණය සහ පාලනය සඳහා වන යුරෝපීය මධ්‍යස්ථානය දිනපතා තොරතුරු නිකුත් කරයි. මේ වනවිට කොරෝනා වයිරසය රටවල් 68 කට ව්‍යාප්ත වී ගොස් තිබෙන අතර ආසාදිතයන්ගේ සංඛ්‍යාව 89,006ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොරෝනා වයිරසයෙන් යුරෝපයට චීනයට තරම් බලපෑමක් සිදු වී නැති නමුත් යුරෝපා සංගමයට අයත් ඇතැම් රටවලට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. එපමණක් නොව ඊට ප්‍රතිචාර දැක්වීමට ඇතැම් යුරෝපීය රටවල දැඩි අරගලයක නිරත වී සිටිති.

කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් සිදුව ඇති යුරෝපීය රට බවට පත්ව ඇත්තේ ඉතාලියයි. ඉතාලියෙන් කොරෝනා ආසාදිතයන් 1,694 කු පිළිබඳව තොරතුරු වාර්තා වී ඇත.

‘‘අද උදේ වෙද්දි යුරෝපා සංගමයට අයත් සාමාජික රටවලින් කොරෝනා ආසාදිතයන් 2,100ක් පිළිබඳ තොරතුරු වාර්තා වී තිබෙනවා. ඊට අමතරව යුරෝපයේ 38 දෙනකුට ජීවිත අහිමි වී තිබෙනවා’’ යැයි යුරෝපා සංගමයේ සෞඛ්‍ය කොමසාරිස් ස්ටෙලා කිරියාකිඩීස් පැවැසුවාය.

‘‘කෝවිඩ්-19 වයිරසය සැලකිල්ලට ගැනීමේ එක එක සාමාජික රටවල් එකිනෙකට වෙනස් අභියෝගවලට මුහුණ දී සිටිනවා. ඉතාලිය මුහුණ දී සිටින තත්ත්වයත් අනෙකුත් සාමාජික රටවල් මුහුණ දී සිටින තත්ත්වයත් වෙනස්’’ යැයි ද ඇය කීවාය.

ඒ.එෆ්.පී.

055