
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ තනතුරු කිහිපයක පුරප්පාඩු පිරවීම සඳහා පැවැති සම්මුඛ පරීක්ෂණයට අදාළව නිර්දේශ ලබා නොදෙන්නැයි අභියාචනාධිකරණය එම විශ්ව විද්‍යාල උපකුලපතිවරයා ඇතුළු විශ්ව විද්‍යාල පාලනාධිකාරියට නියෝග කර ඇත.
එම තනතුරු සදහා පත් වීමට සුදුසු කම් සපුරා තිබියදීත් එම සම්මුඛ පරීක්ෂණයට තමා නොකැඳවූ බවට චෝදනා කරමින් අපේක්ෂකයන් දෙදෙනකු ගොනු කල රිට් පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය මෙම නියෝගය කලේය.
සෝභිත රාජකරුණා සහ ධමමික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවන ලදී.
ආචාර්ය එම්. එස්. සොයිසා, සහ ඒ. වයි ඕ. ලක්ෂිත විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි .
කැලණිය විශ්වවිද්‍යාලය, එහි උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා ඇතුළු තිස් හතර දෙනෙකු මෙහි වගඋත්තර කරුවෝ වෙති.
කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ කථිකාචාර්ය (ආධුනික) , කථිකාචාර්ය ( තහවුරු නොකළ) , ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය 1 සහ 2 තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සදහා ඉකුත් 2019 වසරේ ඔක්තෝබර් 31 වැනිදා අයදුම්පත් කැදවා තිබූ බවත් , ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ නොවැම්බර් 23 වැනිදා සිදු කළද , ඊට අයදුම් කළ තමන්ට කැදවීම් නොලැබුණු බවද පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් කියා සිටිති.
තනතුරු වලට බඳවා ගැනීම් වලට අදාළ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ ඇති විධි විධාන උල්ලංඝණය කර මෙම සම්මුඛ පරීක්ෂණය පවත්වා ඇති බවත් , සුදුසුකම් සහිත අයදුම්කරුවන්ට සම්මුඛ පරීක්ෂණ සදහා කැදවීම් ලැබී නොමැති බව පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් පෙන්වා දෙති.
පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කේ. ජී. ජිනසේන ඉදිරිපත් කල කරුණු සලකා බලා මෙම නියෝගය කල අභියාචනාධිකරණය පෙත්සම ලබන ජනවාරි මස 12වැනිදා කැදවීමට ද නියම කළේය.

