(අංජුල මහික වීරරත්න)
කැබිනට් මණ්ඩලය රැස් නොවීම නිසා ඉන්ධන ඇතුළු හදිසි මිලදී ගැනීම් කිසිවක් වෙනුවෙන් මුදල් වෙන් කිරීමට නොහැකිව ආර්ථික කටයුතු ඇණහිට ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. ජනාධිපතිවරයා සහභාගී නොවීම නිසා සඳුදා(11) දින පැවැත්වීමට නියමිතව තිබූ අමාත්‍ය මණ්ඩල රැස්වීම දින නියමයක් නැතිව කල් යාමෙන් මෙම අර්බුදය උද්ගත වී තිබේ.
මෙම තත්වය යටතේ පක්ෂ නායක රැස්වීම හරහා ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය මිලදී ගැනීම් සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට බලය පැවරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව ද ප්‍රතික්ෂේප වීම නිසා අත්‍යවශ්‍ය සේවා සියල්ල දින නියමයක් නැතිව ඇණ හිටීමෙන් ජනතාව ඉදිරියේදී අර්බුද රැසකට මුහුණ දීමෙි අවදානමක් ඇතැයි රජයේ ප්‍රකාශකයෙක් කීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම් සහ එම්.ඒ.සුමන්තිරන් මහත්වරුන් අග්‍රාමාත්‍යවරයා කළ යෝජනාවට විරෝධය පළ කර ඇති බවත් කැබිනට් අනුමැතියකින් තොරව කිසිදු සහතිකයක් ලබාදිය නොහැකි බව ඔවුන් සඳහන් කර තිබෙන බවත් රජයේ ආරංචි මාර්ග පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර දේශීය බැංකු විසින් ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 128ක් ලබා ගැනීමට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබිණි.
ජූලි මස 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා කාලයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ ඔටෝ ඩීසල්, ඉන්ධන තෙල් සහ බොරතෙල් තොග තුනක් සඳහා මෙම ගෙවීම් වෙන්කර තිබු බව රජයේ ප්‍රකාශකයෙක් කීය.
එම නෞකා තුන සඳහා ජූලි මස 12 දින ඩොලර් මිලියන 61.72ක් (රුපියල් බිලියන 22,650ක්) එදින ම තවත් ඩොලර් මිලියන 28.26ක් (රුපියල් බිලියන 10,371ක්) සහ ජූලි මස 17 දින ඩොලර් මිලයන 89.04ක් (රුපියල් බිලියන 32,678ක්) ගෙවීමට තිබිණි.
මෙම ගෙවීම් කිරීමට නොහැකි වුවහොත් තෙල් නැව් සඳහා ඉදිරිපත් කළ ඇණවුම් අවලංගු වන අතර තෙල් සැපයුම තවදුරටත් ප්‍රමාද වනු ඇතැයි ද මීට අමතරව නොරොච්චෝලේ බලාගාරය සඳහා ගල් අඟුරු ලබා ගැනීමට කැබිනට් අනුමැතිය අවශ්‍යව තිබෙන බවද රජයේ ප්‍රකාශකයා සඳහන් කළේය.
එමෙන්ම දැනටමත් පවත්නා පැය තුනක විදුලිය කපා හැරීම දිර්ඝ කිරීමකින් තොරව එලෙසම පවත්වා ගැනීම සඳහා මෙම තෙල් තොගය ලබා ගැනීම අවශ්‍ය වී ඇතැයි ද රජයේ ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.