කරු ජයසූරිය


(නිමල කොඩිතුවක්කු)

ජනතාවට අත්‍යවශ්‍ය ආහාර,  කිරිපිටි සීනි, සිමෙන්ති, ගෑස්, ඖෂධ ආදිය හිඟයකින් තොරව ලබාදීම පිලිබඳ  ජනාධිපති අගමැති මහ බැංකු අධිපති වහා තීරණයක් ගත යුතුව ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී පැවසීය.

තීරණ ගැනීමට ප්‍රමාද වෙන සෑම මොහොතකම නොමරා මැරෙන්නේ අසරණ ජනතාව බව ආණ්ඩුව සිහි තබා ගත යුතුව ඇතැයිද  ජයසූරිය මහතා සඳහන් කළේය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කොළඹදී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා මෙසේද කීය.

“මිනිස් ජීවිතයේ ප්‍රධාන පරමාර්ථය වනුයේ මුලික පහසුකම් ඇතිව සැපවත් ජීවිත ගත කිරීමට වුවත්  අද එය සිහිනයක් වී තිබෙනවා. එදිනෙදා ජන ජීවිතය ගත කිරීම ජනතාවට අද මහා දුක්බර සටනක් වී තිබෙනවා. තුන්වේල අහිමි පවුල් අද රටතුළ විශාල ප්‍රමාණයක් තිබෙනවා. සැලැස්මක් නොමැතිව දර්ශනයක් නොමැතිව විනයක් නොමැතිව මහදවල් රාජ්‍ය සම්පත් කොල්ලකෑමට අද කටයුතු කරමින් සිටිනවා.

අද අපට අත්‍යවශ්‍ය ආහාර,  කිරිපිටි සීනි, සිමෙන්ති, ගෑස්, ඖෂධ ආදිය ගෙන ඒමට අවශ්‍ය විදේශ මුදල් නැහැ. අපි රටවලින් මුදල් ණයට ලබා ගන්නා ආකාරය ගැන ලැජ්ජා විය යුතුයි. ඩොලර් මිලියන 500ක් විදේශ ණය සංචිතය ගෙවීම ගැන රජයේ ඉහල මට්ටමේ හෝ කැබිනට් මණ්ඩලයේ ස්ථිර තීරණයක් තවමත් ගෙන නැහැ. මේ ගැන ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති අගමැති මහ බැංකු අධිපති වහා තීරණයක් ගත යුතුයි. තීරණ ගැනීමට ප්‍රමාද වෙන සෑම මොහොතකම නොමරා මැරෙන්නේ අපේ අසරණ ජනතාවයි.

ණයකරුවන්ගේ ද පූර්ණ එකඟත්වය ඇතිව ගෙවිය යුතු පොලී ප්‍රමාණය පමණක් ගෙවා මූලික ණය පියවීමට සාකච්ඡා ආරම්භ කිරීම රටට වඩා යෝග්‍ය පියවර ලෙස අපි දකිනවා. මුළු ණය මුදලම වන ඩොලර් මිලියන 500 ම එකවර ගෙවා ජනතාව බඩගින්නේ තබනවා වෙනුවට ණය මුදල් කොටසක් යොදවා රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය, කිරිපිටි, සීනි, ඖෂධ, ගෑස්, සිමෙන්ති, යන්ත්‍රසූත්‍ර, කර්මාන්ත වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ආදිය ලබා දීමෙන්  ජන ජීවිතය රැක ගත හැකියි.