කතානායකගේ තීරණය නීති විරෝධී යැයි ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම කල්යයි


(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
විසුරුවා හැර තිබූ පාර්ලිමේන්තුව නැවත කැඳවීමට කතානායකවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම ලබන 04 වනදා සලකා බැලීමට  ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) තීන්දු කළේය.
 
ජනාධිපති විසින් විසුරුවා හරිමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගන්නා ලබන 04, 05, 06 යන දිනවල මෙම පෙත්සම ද විභාගයට ගැනීමට අධිකරණය නියම කළේය.
 
මෙම පෙත්සම අගවිනිසුරු නලින් පෙරේරා මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද කැදවිණි.
රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කතානායකවරයා, නීතිපතිවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා නම්කර තිබේ. 
දේශපාලන පක්ෂ සහ සංවිධාන කිහිපයක් විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කිරීමට පසුගියදා පියවර ගනු ලැබීය.
 
 පෙත්සම්කාර සරත් වීරසේකර මහතා පෙන්වා දෙන්නේ එම නියෝගය නිකුත් කිරීමෙන් පසුව විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි රැස් කිරීමට කතානායකවරයා පියවර ගත් අතර එය ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවයි.
 
මෙම ක්‍රියාකලාපය තුලින් කතානායකවරයා ඇතුළු වගඋත්තරකරුවන් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් සහ නැවත පාර්ලිමේන්තුව රැස් කිරීමේ ක්‍රියාවලිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඔහු අදාළ පෙත්සමෙන් ඉල්ලා තිබේ.