(යොහාන් භාසුර)
කුරුන්දි විහාරය ඇතුළු උතුරු සහ නැගෙනහිර පළාත්වල පුරාවස්තු බේරාගැනීමට සිදුවී ඇත්තේ බෙදුම්වාදින්ගෙන් හෝ අන්තවාදින්ගෙන් නොව වත්මන් ආණ්ඩුවෙන් බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (15) පැවසීය.
පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ලංකාවේ ඓතිහාසික උරුමයන් සාතිශය උතුරු සහ නැගෙනහිර පලාත්වල ඇති බව කී ගම්මන්පිල මහතා සිරිල් මැතිව් ඇමතිතුමා විසින් යුනෙස්කෝ සංවිධානයට යැවූ ආයාචනයේ 1983 වසර වන විට හඳුනා ගෙන තිබුණු උතුරු සහ නැගෙනහිර පලාත්වල පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්ථාන 276 ක් සඳහන් වන බව ද සඳහන් කළේය.
වර්තමානය වන විට එම සංඛ්‍යාව තව දුරටත් ඉහළ ගොස් උතුරු සහ නැගෙනහිර පලාත්වල පුරාවස්තු අද විනාශ වෙන්නේ බෙදුම්වාදින් සහ අන්තවාදින් අතින් පමණක් නොවන බවත් ආණ්ඩුවේ නිලධාරින් අකර්මන්‍ය වීමෙන් සහ අධිකරණවලට බොරු වාර්තා සැපයීමෙන් ඒවාට සහය දක්වා ඇති බවත් ඒ මහතා කීය.
එම නිසා උතුරු සහ නැගෙනහිර පලාත්වල පුරාවස්තු විනාශය පිළිබඳ විමර්ශනය කර වාර්තා කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු යැයි ලබන 19 වැනිදා කතානායකතුමාට යෝජනාවක් භාර දීමට බලාපොරොත්තු වන බව කී උදය ගම්මන්පිල මහතා පැවසුවේ මේ යෝජනාවට හිටපු කැබිනට් අමාත්‍යවරු වන රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ මහචාර්ය චන්න ජයසුමන සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර යන මහත්වරු ද අස්සන් තබන බවත්ය.
නීතිඥ උදය ගම්මන්පිල මහතා පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ කාර්යාලයේදී අද (15) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

