ඇතැම් අවස්ථාවල මීට වඩා හොඳින් කටයුතු කරන්න තිබුණා


(ඩයනා උදයංගනී)

ඇතැම් අවස්ථාවලදී මීට වඩා හොඳින් කටයුතු කළ හැකිව තිබුණේ යැයි පිළිගැනීමේ වරදක් නොවන බව විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජපානයේ සහන ණය හා තාක්‍ෂණික ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අත්හිටුවීම සම්බන්ධයෙන් අද (19) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

ශ්‍රී ලංකාව සහ ජපානය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර 70 වසරක් පිරීමේ සංවත්සරය නිමිත්තෙන් ජපන් තානාපති මිෂුකොෂි හිදයාකි මහතා සහ විදේශ අමාත්‍යවරයා ඒකාබද්ධව පැවැත්වූ මෙම මාධ්‍ය හමුව කොල්ලුපිටිය සසකාවා ශාලාවේදී පැවැත්විණි.

ජපානය ශ්‍රී ලංකාවට වැදගත් මිතුරකු නම් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවැත්වූයේ ඇයිදැයි මෙහිදී මාධ්‍යවේදියා ප්‍රශ්න කළේය.

කාලෙන් කාලෙට ගන්නා තීන්දු සමාලෝචනය කර බැලෙන බවත්, ඇතැම් ඒවා වඩා හොඳින් හැසිරවිය හැකි තත්වයන් තිබූ බව හා අඩුපාඩු සිදුවූ බව පිළිගැනීමෙන් හානියක් වේ යැයි තමන් නොසිතන බවත් කී ඇමතිවරයා කිසිවකු සර්වසම්පූර්ණ යැයි කිව නොහැකි බව ද සඳහන් කළේය.