අමතර අයකිරීම්-බදු අනුපාත වැඩිකිරිම් අත්හිටුවන්නැයි ජනපතිගෙන් නියෝග


(නාලක සංජීව දහනායක)

අමතර අයකිරීම් හා වත්මන් බදු අනුපාත වැඩිකිරීම් අත් හිටුවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පළාත් සභා සහ පළාත් පාලන බලධාරීන්ය නියෝග කර ඇත.

සමස්ත පළාත් පාලන අනුපාත සහ ගෙවීම් ව්‍යුහය විමර්ශනය කර ඊයේ (19) වැනිදා සිට දින 30 ක් ඇතුළත එය සරල කරන ලෙස ද ඔහු උපදෙස් දී තිබේ.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා විසින් සියලූම ආණ්ඩුකාරවරුන්ට සහ ප‍්‍රධාන ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.

රටේ සමස්ත බදු සහ බදු නොවන පද්ධති සරල කිරීමත්, ජනජීවි පහසු කිරීම, ගනුදෙනු පිරිවැය අඩු කිරීම, දූෂණ සහ අක‍්‍රමිකතා පිටු දැකීම මෙන්ම කුඩා ආයතනවල සිට මහා පරිමාණ සමාගම් දක්වා ව්‍යාපාර සදහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම ඇතුළු අරමුණු ජය ගැනීම මෙමගින් අපේක්‍ෂා කෙරේ.

එමෙන්ම රටේ සමස්ත සංවර්ධන දැක්ම සහ ඊට පාදක වන උපාය මාර්ග අඩාල කරමින් පළාත් සභා සහ පළාත් පාලන ආයතන විවිධ බදු අනුපාත සහ අයකිරීම් පුළුල් කරන බව පෙනී ගොස් තිබෙන බවද ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇත.

පළාත් සභා සහ පළාත් පාලන ආයතන විසින් පනවා ඇති බහු අනුපාත බදු සහ ගෙවීම් වෙනුවට ජන ජීවිතය පහසු කිරීමට සරල, පාරදෘශ්‍ය හා දැරිය හැකි අයකිරිම් ව්‍යුහයක් හඳුන්වාදෙන ලෙසද ජනාධිපති ලේකම්වරයා දැනුම්දී තිබේ.

විමධ්‍යගත පාලන ඒකකවල ආදායම් අවශ්‍යතා රජය පිළිගන්නා නමුත් මූල්‍ය විමධ්‍යගත කරණය සහ ආදායම් බෙදාගැනීමේ ක‍්‍රමවේදය ජාතික ප‍්‍රතිපත්ති ව්‍යුහය සමඟ සමපාත විය යුතු බවද හෙතෙම දැනුම්දී ඇත.