අද පාර්ලිමේන්තුව පැය හත හමාරක්



 
තරිඳු ජයවර්ධන

 
අද උදෑසන 10.30 ආරම්භ වූ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු පස්වරු 6.00ට අවසන් විය. විවේක කාලයකින් තොරව පැය හත හමාරකට ආසන්න කාලයක් අද පාර්ලිමේන්තුව පැවැත්විණි.
 
උදෑසන 10.30ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවට ඉදිරිපත් වී ඇති නම් 16ක් අතුරෙන් නම් 12ක් කතානායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
 
පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊට විරෝධය දැක්වූ අතර තේරීම් කාරක සභාවේ බහුතරය තමන්ට අවශ්‍ය බව කියා සිටියේය.
 
එම නම් අනුමත කිරීම කතානායකවරයා පාර්ලිමේන්තුවට බාර දුන් අතර ඉලෙට්‍රෝනික් ක්‍රමයට ඡන්දය පැවැත්වීමට තීරණය කළේය. 
 
කතානායකවරයාතේ තීරණයට විරෝධය දක්වමින් මහින්ද රාජපක්ෂ මහතගේ පාර්ශ්වයේ මන්ත්‍රීවරු සභා ගැබෙන් පිටව ගියහ. ඉන් පසු ඉලෙට්‍රෝනික් ක්‍රමයට ඡන්ද විමසීම පැවැත්විණි. යෝජනාවට පක්ෂව ඡන්ද 121ක් ලැබිණි. 
 
අනතුරුව රටේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණෙන් කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් වූ අතර එහි විවාදය අද දවස 6 වන තෙක් පැවැත්විණි.  එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා අවසාන කථිකයා ලෙස කතා කළ අතර ඉන් පසු පාර්ලිමේන්තුව ලබන 27 වැනි දා සවස 1 වන තෙක් කල් තැබීමට නියෝජ්‍ය කතානායකවරයා නියෝග කළේය.