අඩු පහසුකම් සහිත පාසල් 1346කට ටැබ් පරිගණක ලබාදෙන්නැයි නිර්දේශයක්


(අජන්ත කුමාර අගලකඩ)

රජයේ පාසල්වල අ.පො.ස. උසස් පෙළ සිසුන්ට බෙදාදීම සඳහා ඇණවුම් කර නිෂ්පාදනය කර ඇති ටැබ් පරිගණක 96916ක් උසස්පෙළ සිසුන්ට ලබාදීම වෙනුවට , අඩු පහසුකම් සහිත පාසල් 1346කට බෙදා දෙන්නැයි, මේ සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ විශේෂඥ කමිටුව නිර්දේශ කරඇත.

ඉකුත් ආණ්ඩුවේ ප්‍රමුඛතම ව්‍යාපෘතියක් වූ උසස්පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සොයාබැලීමට නීතිපතිවරයාගේ උපදෙස් මත අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා විසින් විශේෂ කමිටුවක් පත්කරනු ලැබීය.

එම කමිටුව සිය වාර්තාව අධ්‍යාපන අමාත්‍යාංශය වෙත බාරදෙමින් මෙම නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

ටැබ් පරිගණක 96916ක් පළමු අදියර යටතේ නිෂ්පාදනය කරඇති බැවින් ඒවා අවස්ථා 3කදී මිලටගෙන අඩු පහසුකම් සහිත පාසල් වලට ලබාදෙන ලෙසත්, ටැබ් පරිගණක  වැඩ සටහනේ 2වන හා 3වන අදියර ක්‍රියාත්මක නොකරන ලෙසත් විශේෂඥ කමිටුව සිය වාර්තාවෙන් නිර්දේශ කර ඇත.

එම පාසල් සියලු පළාත් නියෝජනය වන පරිදි පළාත් මට්ටමින් තෝරාගන්නා ලෙසත් ඒවා භාවිතය සහ  ඉගැන්වීමේ ක්‍රියාවලිය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අධීක්ෂණය කරන ලෙසත් කමිටුව නිර්දේශ කර තිබේ.

එම නිර්දේශක ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීමටද නියමිතව ඇත.