අගමැතිකම ගන්න කියලා මටත් කිව්වා


(අංජුල මහික වීරරත්න)

බලය ලැබුණු දේශපාලකයින් හැප්පිය යුත්තේ තමන්ගේ නායකයන් සමඟ නොව දුප්පත්කම තුරන් කිරීම සඳහා යැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය හමුවකදී අද (07) පැවැසීය.

පාලක පරපුර හැසිරෙන්නේ කෙසේදැයි කුඩා දරුවන් පවා බලා සිටින හෙයින් සෑම ක්‍රියාවකදීම ප්‍රතිපත්තිගරුක වී නිසිලෙස හැසිරෙන්නට වගබලාගත යුතු  බවද ප්‍රේමදාස මහතා කීය.

අග්‍රාමාත්‍ය ධූරය බාර ගන්නැයි ජනපති ආරාධනා කළාද? ඊට පිළිතුරු ලෙස නායකතුමා සමඟ හැප්පෙන්නට නොහැකි යැයි ජනපතිට පැවැසුවාදැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීය.

තමාට අගමැති ධූරය බාරගන්නැයි ජනාධිපතිවරයා පැවැසූ බව කී ප්‍රේමදාස මහතා අර්බුදයක් මුල් කරගෙන පෞද්ගලික වාසි ගැනීම තම අරමුණ නොවූ බවද පැවැසීය.

‘‘අපි බලයට පත් වුයේ සම්මුතිය එකමුතු බව සහ යහපාලනය ක්‍රියාත්මක කරන්නයි මගේ අරමුණ වුයේ ජනපති සහ අගමැති එකට එකතු කරගෙන ගමනක් යාමයි.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ දේශපාලයේදී කටයුතු කළ යුත්තේ විධිමත් වැඩ පිළිවෙළක් යටතේයි.අප ප්‍රතිපත්තිගරුක විය යුතුයි අචාර ධර්ම පිළිගත යුතුයි.‘‘