(විනීතා ගමගේ)
දෙමළ බෙදුම්වාදීන්ට අට වසරක් පුරා ඔප්පුකර ගැනීමට බැරිවූ යුද අපරාධ පිළිබඳ පදනම් විරහිත කරුණ ඔප්පු කර ගැනීමට ආණ්ඩුව සරත් ෆොන්සේකා කරළියට ගෙන ආවේද යන සාධාරණ සැකය මතු වන්නේ යැයි පිවිතුරු හෙළ උරුමයේ් නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.
ප‍්‍රාදේශිය සභාවකට යාගැනීමට වත් ඡන්දයක් ලබාගැනීමට බැරිව සිටියදී ෆොන්සේකා මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමෙන්තුවට ගෙනැවිත් කැබිනට් අමාත්‍ය ධූරයක් ලබාදී කෝටි හතක වාහනයක් ලබාදුන්නේ ඇයි ද කියන සැකය එනවා යැයි ද මන්ත‍්‍රීවරයා කිය.
නායකයන්ගේ නිහැඩියාව නිසා මේ සාධාරණ සැකය ඇතිවන්නේ යැයි ද කී ඔහු ‘ශ්‍රී ලංකා යුද හමුදාව යුද අපරාධ කළ බවට යුද සමයේ සිටි හමුදාපති ප‍්‍රකාශ කළාට පස්සේ තවත් ඔප්පු කරන්න සාක්කි අවශ්‍ය නෑ. ඒ නිසා තමයි වසර අටක් පුරා චෝදනා නැගුවත් සාක්කි නැතුව ඔප්පු කරන ගන්න බැරිව අසරණ වී සිටි දෙමළ බෙදුම්වාදින් ප‍්‍රීතියෙන් ඔකඳ වෙලා ඉන්නේ. අද ෆොන්සේකා මහතා ඔවුන්ගේ එකම ගැලවුම්කරුවා බවට පත්වෙලා. අද ෆොන්සේකාව වර්ණනා කරන්නේ උතුරේ මහ ඇමති විග්නේශ්වරන් මැතිතුමා, සංක‍්‍රාන්තික දෙමළ ඊළාම් රාජ්‍යයේ නියෝජිතයින් වැනි අයයි‘ යැයි ද කීවේය.
පිවිතුරු හෙළ උරුමය නායකයා මේ අදහස් පළ කළේ එම පක්ෂයේ මුලස්ථානයේ අද(11) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහි දී තව දුරටත් අදහස් දක්වමින් ගම්මන්පිල මහතා මෙසේ ද කීය.
‘දැන් රණවිරුවන් බේරා ගැනීමට තිබෙන එකම විකල්පය මේ ප‍්‍රකාශය කළේ මානසික රෝගියෙකු කියන එක විතරයි. වෙනත් වචන වලින් කිව්වොත් සරත් ෆොන්සේකාව මෑඩ් ෆොන්සේකා බවට පත් කිරීමෙන් විතරයි. ඇත්තෙන්ම ඒක එතරම් අපහසු නෑ. මානසික රෝගියෙකු හඳුනා ගැනීමට ප‍්‍රධාන ලක්ෂණ තුනක් තිබෙනවා. පළමු ලක්ෂණය තමයි තමන්ට පිස්සු නෑ කියන එක. ඔබත් දැක ඇති අංගොඩ රෝහලට මානසික රෝගියෙක් ගෙදර අය විසින් රැගෙන යද්දී රෝගියා කියන්නේ මට ඇති පිස්සුවක් නැ. මාව අත අරින්න කියලයි. ෆොන්සේකාත් තමන්ට පිස්සු කියලා පිළිගන්නේ නෑ. මට පිස්සු නෑ කියල තමයි කියන්නේ. දෙවැනි ලක්ෂණය තමයි අනුන්ට පිස්සු කියපු එක. ෆොන්සේකා ගෞරවණීය මහා සංඝරත්නයටත් පිස්සු කියා පවසනවා අපි දැක්කා. තෙවැනි ලක්ෂණය තමයි කාටවත් පාලනය කරන්න බැරි අයුරින් හැසිරීම. අපිට මේ වෙනවිට පේනවා ජනාධිපතිතුමන්ටවත් අගමැතිතුමන්ටවත් කිසිම පාලනයක් නැ.‘

