‘ශ්‍රී ලංකාව කොකේන් හුවමාරු මධ්‍යස්ථානයක්‘


ජාත්‍යන්තර කොකේන් ජාවාරම්කරුවන් ශ්‍රී ලංකාව ආසියාවේ හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස භාවිත කරන බව බලධාරීහූ පවසති.

එකළඟ අවස්ථා කිහිපයකදී මත්ද්‍රව්‍ය වැටලීම් කිරීමෙන් පසු ඔවුන් ඒ බව සඳහන් කළ අතර පසුගිය දිනෙක බ්‍රසීලයෙන් ආනයනය කරන සීනි කන්ටේනරයක් තුළ තිබී මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගන්නා ලදි.

පසුගිය මාස 14 ක කාලය තුළ අවස්ථා හයකදී දකුණු ඇමෙරිකාවෙන් මෙරටට පැමිණි මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගු නිලධාරීහූ සමත්වූහ.

පසුගිය දෙසැම්බර් මාසයේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය ආසියාවේදී අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය යැයි ද කියැවිණි.

“ශ්‍රී ලංකාව කොකේන් සඳහා ආසියාවේ හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත්ව තිබෙනවා. ලංකාව අවදානම් අඩු සහ නීති රීති රෙගුලාසි අඩු රටක් ඊට ප්‍රධාන හේතුව” යැයි මත්ද්‍රව්‍ය ජාවාරම් විමර්ශනවලට සම්බන්ධ තොරතුරු දන්නා පොලිසියේ ඉහළ පෙළේ නිලධාරියෙක් පැවැසීය.

“මේ මත්ද්‍රව්‍ය කන්ටේනර් වැරදීමකින් මෙහි ආ බව අපි විශ්වාස කරන්නේ නැහැ. බ්‍රසීලයෙන් සීනි ආනයනය කරන වෙනත් රටකට මේ කොකේන් තොගය නොගියේ ඇයි” ඔහු විමසීය.

මෙම කොකේන්වල අවසන් නවාතැන ශ්‍රී ලංකාව යන්න නිශ්චිතව කිව නොහැකි බව පොලිසිය කීවද මේ සියලු මත්ද්‍රව්‍ය වෙන රටවලට යැවීම සඳහා ගෙන්වන්නට ඇතැයි අමාත්‍ය සාගල රත්නායක මහතා පැවැසීය.

“ශ්‍රී ලංකාව මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ හුවමාරු මධ්‍යස්ථානයක් බවට පත්වෙලා” යැයි නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතා කීය.

මෙතරම් විශාල කොකේන් තොගයක් කොළඹ හරහා හුවමාරු වීම ව්‍යාකූල තත්ත්වයක් යැයි එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ සංවිධානයේ කොළඹ වැඩසටහන් සම්බන්ධීකාරක ශානක ජයසේකර මහතා පැවැසීය.

ඇතැම් විට මෙම මත්ද්‍රව්‍ය යුරෝපයට යනවා විය හැකි යැයි ද හෙතෙම තවදුරටත් කීය.

(රොයිටර්-055)