‘විගණන පනත පරක්කු වංචා යට ගැසිමේ උනන්දුව නිසයි‘


(විනීතා එම් ගමගේ)

ජාතික විගණන පනත මේ වන තෙක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නොහැකි වූයේ මේ ආණ්ඩුවේ නොහැකියාව නිසා නොව වංචා දුෂණ යට ගැසීමට ඇති උවමනාව නිසා යැයි දූෂණ විරෝධී පෙරමුණේ සභාපති උලපනේ සුමංගල හිමියෝ පවසති.

එය ගෙන ඒම ආණ්ඩුව හිතාමතා මඟහරින්නේ යැයි ද ඒ හිමියෝ කියති.

බැඳුම්කර වංචාව වැනි වංචා තව දුරටත් කරන්නට පසුබිම සකසා ගැනීම මෙම පනත පාර්ලිමේන්තුවට ගෙන ඒම මඟහැරීමේ අරමුණ බව පැහැදිලි යැයි ද උන් වහන්සේ ප්‍රකාශ කරති.

පවතින මහා පරිමාණ වංචා නතර කිරීමට ශීලාචාර ආණ්ඩුවක් ලෙස ජාතික විගණන පනත ගෙන එන්නැයි රජයෙන් ඉල්ලා සිටින  බව ද සුමංගල හිමියෝ පවසති.

සුමංගල හිමියෝ මේ බව පැවසුවේ රාජගිරියේ දූෂණ විරෝධී පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී අද (30) පැවැති මාධ්‍ය හමුවක දීය.

‘‘මේ ආණ්ඩුව බලයට පත්වීමට පෙර දුන් ප‍්‍රධාන පොරොන්දුවක් සියලූ රාජ්‍ය ගනුදෙනු විගණනය කරන බවටත් ඒ සඳහාම ස්වාධින විගණන කොමිසමක් ගෙන එන බවටත්.එය දින 100 තුළ කරන බවටත් පොරොන්දු වුණා. නමුත් තවම මේ පනත පාර්ලිමේන්තුවට ගේන්න මේ ආණ්ඩුවට බැරිවුණා.

ජාතික ආර්ථික කළමනාකරන කමිටුවක් පිහිටුවන්න ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට මීට සති හතරකට පෙර ගෙන ආ යෝජනාව අධ්‍යයනය  කිරීමට යැයි කියා අගමැතිවරයා විසින් ගෙන ගොස් තිබෙනවා. එය තවම එළියට නොදෙන්නේ මන්දැයි අප විමසනවා. ඒ වගේම අනෙක් ඇමතිවරුන්ට අපි කියන්නේ මේක ගෙන එන්න කියා කැබිනට් මණ්ඩල රැස්වීමේ දී බල කරන්න කියලයි.
කෝට්ටේ සිදුවූ මහා ඉඩම් මංකොල්ලයක් ගැන මාධ්‍ය වාර්තා කර තිබුණා. ඒ මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයා ගැනයි. ඔහු ඊට ඍජුවම සම්බන්ධ නම් අප ජනාධිපතිවරයා ගෙන් ඉල්ලන්නේ මේ ගැන පියවර ගන්නා  ලෙසයි.

රවි කරුණානායක මහතාගේ ඉවත් වීමත් සමඟ අපි හිතුවේ ඉදිරියට තව නම් ගම් හෙළිවෙයි කියලයි. අධිකරණ ඇමතිත් ඉවත් වුණාට පසු කොමිසමට තර්ජනය කරනවා පෙනුනා. අපි නම් කියන්නේ අගමැතිවරයාත් කබිර් හෂිම් ඇමතිවරයාත්, මලික් සමරවික‍්‍රම ඇමතිවරයාත් බැඳුම්කර කොමිසම ඉදිරියට ගෙන්විය යුතුයි. ’’ යැයි ද ඒ හිමියෝ පැවැසූහ.