ෆොන්සේකා අත්අඩංගුවට ගත යුතු බව ගම්මන්පිල කියයි


විනීතා එම් ගමගේ
 
ජගත් ජයසූරිය මහතා යුද අපරාධ කළේ  යැයි සරත් ෆොන්සේකා මහතා පවසන්නේ නම් වසර අටක් පුරා යුද අපරාධ වසන් කිරීම පිළිබඳව ඔහු වහාම අත් අඩංගුවට ගත යුතුයැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උයද ගම්මන්පිල මහතා ප්‍රකාශ  කළේය.
 
දණ්ඩ නීති සංග්‍රහයේ එන රාජද්‍රෝහී විම යන චෝදනාව අනුව වහාම ඔහු අත් අඩංගුවට ගත යුතු යැයි ද ගම්මන්පිල මහතා කීය. 
 
හිටපු ජ්‍යෙශ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අපරාධයක තොරතුරු වසන් කිරීම යන චෝදනාව මත මාස 13 ක් රක්ෂීත බන්ධනාගාරයේ තබාගෙන සිටියේ නම් මේ සිද්ධියේ දී සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට නොගන්නේ මන්දැයි හෙතෙම ප්‍රශ්න කර සිටියේය. 
 
‘යුද අපරාධ වුණා නම් ඒවා ස`ගවා ගෙන සිටීම ගැන අත් අඩංගුවට ගත යුතුයි. යුද අපරාධ නොවුනා නම් රාජද්‍රෝහී වීම ගැන අත්අඩංගුවට ගත යුතුයි. ඒ කියන්නේ දැන් යුද අපරාධවුණත් නැතත් අත් අඩංගුවට ගත  යුතුයි.‘ යැයි ද ගම්මන්පිල මහතා පැවැසීය.