(අජන්ත කුමාර අගලකඩ)
කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (06) දහවල් 12.00ට පැවැත්වේ.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ හදිසි පනත් කෙටුම්පත් තුන අනුමත කර ගැනීම සඳහා මෙම හදිසි කැබිනට් රැස්වීම පැවැත්වෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
අද පැවැත්වෙන හදිසි කැබිනට් රැස්වීමට සහභාගී වන ලෙස ජනාධිපති කාර්යාලය ඇමැතිවරයාට ඊයේ (05) පෙරවරුවේ දුරකතනයෙන් දැනුම්දී තිබිණි.
පොහොය දිනය ඊයේට යෙදී තිබූ නිසා අඟහරුවාදා කැබිනට් රැස්වීම නොපැවැත්වෙන බවත් කැබිනට් මණ්ඩලය නැවත රැස් වන්නේ ලබන සතියෙ බවත් ගිය සතියෙ පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැතිවරයාට දැනුම්දී තිබිණි.
එහෙත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ හදිසි පනත් කෙටුම්පත් තුනක් අනුමත කර ගැනීම සඳහා මෙම කැබිනට් රැස්වීම කැඳවා ඇති බව පැවැසේ.
මහනගර සභා ආඥාපනත, නගර සභා ආඥා පනත සහ ප‍්‍රාදේශීය සභා ආඥා පනත සංශෝධන කෙටුම්පත යන පනත් තුන අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇත.
කැබිනට් මණ්ඩලයේ දී අදාළ පනත් කෙටුම්පත් තුන අනුමත කර ගැනීමෙන් පසුව එය අද හෙටම ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පත් තුන මීළඟ පාර්ලිමේන්තු සතියේ පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත කර ගැනීමට රජය අපේක්ෂා කරයි.
පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ඉකුත්දා සම්මත කෙරුණු අතර ඒ අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තවත් පනත් කෙටුම්පත් තුනක් සංශෝධනය කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබිණි.

