සෙංගමාලය ප‍්‍රතිශක්තීකරණ වැඩපිළිවෙලට තවත් මාත්‍රාවක්


(විනීතා එම් ගමගේ)

සෙංගමාලය බී සදහා වන ප‍්‍රතිශක්තීකරණ වැඩපිළිවෙලට උපතේ දී ලබාදෙන මාත‍්‍රාව ද ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

උපතේ දී ලබා දෙන මාත‍්‍රා 3 කින් සමන්විත වන එම ප‍්‍රකිශක්තිකරණ ඖෂධ වේල ලබා දෙන්නේ විද්වත් අදහස් මත යැයි ද අමාත්‍යවරයා  කියයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාලදිවයිනේ දී පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල 70 වැනි සැසිවාරය අමතමිනි.

ශ‍්‍රී ලංකාවේ 2%කට අඩු ප‍්‍රතිශතයක සෙංගමාල වෛරසය ව්‍යාප්තව පවතින බව ද සේනාරත්න මහතා ප‍්‍රකාශ කළේය.

විද්වත් අදහස් ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ රුධිර සාම්පලවල ගුණාත්මකභාවය සහ ආරක්ෂාව තර කර ඇති බව පෙන්වා දුන් සෞඛ්‍ය අමාත්‍යවරයා සෙංගමාලය බී පරික්ෂා කිරිම සදහා දිවයින පුරා රුධීර පරීක්ෂණාගාර ස්ථාපිත කර ඇති බව ද කීය.

 “කාලගුණික විපර්යාස හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැටලු රැසකට මුහුණ දී තිබෙනවා.  ඒ සදහා සෞඛ්‍ය බලධාරීන් අවධානය යොමු කළ යුතුයි.
තව ද ශ‍්‍රී ලංකාව සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළින් ඉදිරියට පැමිණෙමින් සිටින අතර, මැලේරියා රෝගය තුරන් කිරීමෙන් පසු ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබුණු සහතිකය ඉතා වැදගත්. හෘද රෝගීන් සදහා ස්ටෙන්ස්, අක්ෂි කාච නොමිලේ ලබාදීම සහ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීම ශ‍්‍රී ලාංකික ජනතාව ලැබූ සෞඛ්‍ය ජයග‍්‍රහණ බව මම පෙන්වාදීමට කැමැතියි.

ශ‍්‍රී ලංකාව මුහුණ දුන් ඩෙංගු වසංගත තත්ත්වය පාලනය කර ගැනීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය විශාල සහයෝගයක් ලබාදුන්නා. කලාපයේ සහයෝගීතාවය තුළින් විශ්වීය සෞඛ්‍ය සහ තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමට අපට හැකියාව ලැබී තිබෙනවා. “යැයි ද ඒ මහතා කීය.