(විනීතා එම් ගමගේ)
ඉකුත් රජය සමයේ සිල් රෙදි බෙදාදීමේ සිද්ධිය ගැන පැවැති නඩු විභාගයේ තීන්දුව හරහා ඉදිරියේදී රාජ්‍ය දේපල අවභාවිතා කිරීම සීමා වනු ඇතැයි විශ්වාස කරන බව පැෆරල් සංවිධානය කියයි.
පසුගිය දශක දෙකක කාලය දෙස ආපසු හැරී බැලීමේදී සෑම මැතිවරණයකදීම රාජ්‍ය බලය හා දේපල අවභාවිතාව දක්නට ලැබුණු බවත් මෙම අවභාවිතය වැළැක්වීමට මැතිවරණ දෙපාර්තමේන්තුව, පොලීසිය හා නිරීක්ෂණ සංවිධාන උත්සහයක් දැරුවද ඒවා අවම වූවා මිස සම්පූර්ණයෙන් වැළැක්වීමට නොහැකි වූ බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.
එමෙන්ම ඊට සම්බන්ධ වූවන්ට දඬුවම් පැමිණ වීමද අසීරු කටයුත්තක් වූ එවැනි පසුබිමක පසුගිය ජනාධිපතිවරණයේදී රාජ්‍ය දේපල අවභාවිතයට ඉඩකඩ සලසා දුන් රාජ්‍ය නිලධාරීන් අතරින් ඉහළම රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකිවීම මැතිවරණ ඉතිහාසයේ තීරණාත්මක හැරවුමකි. එමෙන්ම දේශපාලන බලපෑම් හමුවේ රාජ්‍ය නිලධාරීන්ට නීතියට පරිබාහිරව ක‍්‍රියාකිරීමට පොළඹවන පරිසරයද අප විසින් වෙනස් කළ යුතුව ඇත.
රාජ්‍ය සේවය තුළ සිටිමින් රාජ්‍ය දේපල අවභාවිතා කරන දේශපාලනඥයන්ට එරෙහිව හෘද සාක්ෂියට එකඟව හා නීතියට අනුව කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට මෙම නඩු තීන්දුව ගෞරවයක් හා මඟ පෙන්වීමක් වනු ඇතැයි ද හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
පසුගිය ජනාධිපතිවරණ සමයේ සිල් රෙදි බෙදාදීම ඇතුළු සිදුවීම් කිහිපයකදී රාජ්‍ය බලය හා දේපල අවභාවිතය පිළිබඳව හිටපු ජනාධිපති ලේකම්වරයා, ඇතුළු 8 දෙනෙක් වගඋත්තරකරුවන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින් මෙම නඩුකරයට මූලාරම්භයක් සපයමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රගමනයට දායකවීමට හැකිවීම පිළිබඳව සතුටු වන බවයි.
රාජ්‍ය දේපල අවභාවිතා කිරීමට වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීම පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවටද, අදාල පරීක්ෂණ මෙහෙයවූ පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු සියලූම ආයතන වලටද රාජ්‍ය දේපල අවභාවිතා වීම වළක්වාලීම සඳහා ගත හැකි උපරිම ක‍්‍රියාමාර්ග ගනු ලැබූ එවකට මැතිවරණ දෙපාර්තමේන්තුව හා වත්මන් මැතිවරණ කොමිසමටද ප‍්‍රාණාමය හිමිවිය යුතු බවත් ඔහු පැවැසීය.

