ශ්‍රීලනීප සම්මේලනයේ මහින්දටත් අසුනක්


(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අනුශාසක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට මෙන්ම ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින ශ්‍රී.ල.නි.ප මන්ත‍්‍රීවරුන් සඳහා කැම්බල් පිටියේ පැවැත්වෙන පක්‍ෂ සම්මේලනයේදී අසුන් වෙන්කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ සියලූදෙනාට ආරාධනා පත‍්‍ර යොමුකර ඇති බව කී සන්ධාන මහලේකම්වරයා එසේ ලැබී නැත්නම් සම්මේලනයට සහභාගී වන්නැයි තමන් ප‍්‍රසිද්ධියේ විවෘත ආරාධනයක් කරන බව ද කියයි.

එබැවින් නොඓන්නට හා බෙදෙන්නට හේතු නොසොයා පක්‍ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් එක්වන්නැයි සියලූ දෙනාට ආරාධනා කරන බව ද මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

අමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (31) පැවති මාධ්‍ය හමුවකදී ය.

කුරුණෑගල දී පැවැත්වූ 65 වැනි සම්මේලනය පක්‍ෂ ඉතිහාසයේ සාර්ථකම හා වැඩිම ජනසහභාගීත්වයක් සහිත සම්මේලනය බව කවුරුත් අවිවාදයෙන් පිළිගන්නා බව කී අමරවීර මහතා මෙවර ඒ වාර්තාව බිඳහෙළමින් ඊටත් වඩා සාර්ථක සම්මේලනයක් පවත්වන බව ද පවසයි.