ශ්‍රීලනීප සභාපති නඩුවේ ලිඛිත දේශන 04 දා


(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස සලකමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පැමිණිල්ල පවත්වාගෙන යා නොහැකි බවට ඉදිරිපත් කළ මූලික විරෝධතාව පිළිබඳ ලිඛිත දේශන ලබන 04 වැනිදා ගොනු කරන්නැයි කොළඹ දිසා අධිකරණය වගඋත්තරකාර එම පක්ෂයේ මහලේකම්වරයාට අද (29) නියෝග කළේය.

අදාළ පැමිණිල්ල අද කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු සුජීව නිශ්ශංක මහතා හමුවේ කැඳවූ අතර එහිදී ප‍්‍රධාන දිසා විනිසුරුවරයා විත්තිකාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දන්වා සිටියේ ලබන 04 වැනිදාට මූලික විරෝධතා සම්බන්ධයෙන් ලිඛිත දේශන ගොනු කරන ලෙසයි.

වගඋත්තරකාර හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා විසින් පැමිණිල්ල පවත්වා ගෙන යා නොහැකි බවත් ,ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ තවදුරටත් පැවැත්වෙන බව  දන්වමින් අධිකරණය හමුවේ විරෝධතා ගොනු කර තිබිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් දෙදෙනකු ගොනු කළ මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එම පක්ෂයේ 2014 වසරේ දෙසැම්බර් මාසය වන විට පක්ෂ මහලේකම් වශයෙන් කටයුතු කළ අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා නම් කරනු ලැබ සිටියි.