විල්පත්තු වන විනාශය ගැන ජනපති කොමිසම අදහස් විමසයි


(රොමේෂ් මධුෂංඛ)

මන්නාරම විල්පත්තු ජාතික වනාන්තරයේ වන විනාශයක් වී ඇත්දැයි සෙවීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිසමේ නිලධාරීන් මේ දිනවල මන්නාරම් වැසියන්ගේ අදහස් විමසමින් සිටිති.

මන්නාරම මුසලී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී  ජනතා අදහස් විමසන අතර එස්.බී.ඒ.බී. බොරලැස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සිව් දෙනෙකුගෙන් සමන්විත මෙම ජනාධිපති කොමිසමේ නිලධාරීන් විසින් විල්පත්තු වනාන්තරය අවට පදිංචිවි සිටින වැසියන්ගේ ජනතා අදහස් විමසීම අරඹා ඇත.

ඔවුන්ගේ මුල් ගම්බිම්වල අයිතිය තහවුරු කරවීම සඳහා වූ මුල් ඔප්පු ඇතුලු බොහෝ ලියකියවිලි කොමිසමේ නිලධාරීන් වෙත ඉදිරිපත් කරමින් කියා සිටියේ තමන් යුද්දෙට පෙර සිටම පරම්පරාගතව මෙම ප්‍රදේශවල ජීවත් වන හෙයින් එම අයිතිය තමන්ට ලබා දෙන ලෙසටයි.

එහිදී කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතාද ජනාධිපති කොමිසම් නිලධාරීන් විසින් මුසලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පවත්වන ජන හමුව වෙත ගොස් කියා සිටියේ ‘පරම්පරාගතව සිටි වැසියන්ගේ මුල් ඉඩම් නැවත ඔවුන් වෙත ලැබිය යුතු බවටත් යුද සමයේදී කොටි සංවිධානය විසින් එකවරම විල්පත්තු අවට වැසියන් පන්නා දැමීමෙන් පසුව වසර ගණනාවක් අවතැන්ව සිට නැවත පදිංචි වූ මේ වැසියන්ට ඔවුන්ගේ අයිතිය ලබා දීමට සියලු දෙනාගේ අවධානය යොමු විය යුතු බවයි.

එමෙන්ම විල්පත්තු අවට නැවත පදිංචි වූ ජනතාව කිසි ලෙසකින් විල්පත්තු වනාන්තරයට හානියක් නොකර ඇති අතරම ඇතැම් සංවිධාන හා විවිධ පුද්ගලයින් විසින් බොරු ප්‍රචාරයන් පතුරා නැවත පදිංචි වූ ජනතාවගේ අයිතිය අවදානමකට ලක් කොට ඇති බවටයි.