විධායක ජනපති ක්‍රමය ගැන බොරු පොරොන්දු දීලා - හිටපු ජනපති


‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා පොරොන්දු වෙලා ඡන්දෙ අරගෙන දැන් කියනවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ නෑ කියලා. ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයත් කියනවා විධායක ජනාධිපති ක්‍රමය ඕනෑ කියලා. බොරු පොරොන්දු දීලා ඡන්දෙ ගන්න එපා කියලා මම කියනවා.‘ යැයි හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක‍ෂ මහතා   කොලොන්න කළුගල දී පැවසීය. 
 
‘‘කවුරුවත් ව්‍යවස්ථාවක් ඉල්ලන්නේ නෑ. තියන ව්‍යවස්ථාව හො`දයි. ඡන්දය දුන්නා මිනිස්සු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. හැබැයි දැන් ශ්‍රී ලංකා නිදහස් පක‍ෂය කියනවා දැන් ඒක තියාගන්න අපිට ඕනෑ කියලා. ජනාධිපතිතුමා කියනවා නෑ.......නෑ....... දැන් මං ඒක අතහරින්නේ නෑ කියලා. ඒක දෙන්න බෑ....... කමක් නෑ. හැබැයි රටේ ජනතාවටත් අර දුන්න ඉටු කරන්න. හැබැයි මේවගේ පොරොන්දු දෙන්න එපා කරන්න බැරි දේ....... ඡන්දෙ ගන්න විතරක් බොරු පොරොන්දු දෙන්න සූදානම් වෙන්න එපා.  ‘‘ යැයි ද හිටපු ජනපතිවරයා කීවේය.
 
කොලොන්න කළුගල ශ්‍රී හේමගිරි පිරිවෙනේ පරිවේනාධිපති පණ්ඩිත විජේරියේ ජිනානන්ද හිමියන්ට අමරපුර අරියවංශ සද්ධර්ම යුක්තික මහා නිකායේ සද්ධර්ම කීර්ති ශ්‍රී විනය විශාරද කර්මාකාර්ය ශ්‍රී හේමතිලක තිස්ස ශාසන වංශාලංකාර ගෞරව නාමයත් සමග එම නිකායේ සබරගමු පළාතේ ද්විතීය සංඝනායක පදවියේ අක්ත පත්‍ර පිරිනැමේ උත්සවයේදී  මහින්ද රාජපක‍ෂ මහතා මේ බව පවැසීය.