වැව් 19ක ප්‍රතිසංස්කරණ කටයුතු අත්හිටුවයි


(ජුඩ් සමන්ත)

ගොවි සංවිධාන විසින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ගෙන ගිය වැව් 19 ක කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර ඇත.

වසර 50 කට වැඩි කාලයක් කිසිදු ප්‍රතිසංස්කරණයක් නොවී තිබූ වැව් 22 ක් පුත්තලම සහකාර ගොවිජන සේවා කාර්යාලයේ අනුමැතිය ඇතිව ඒ ඒ වැව් යටතේ පිහිටුවා ඇති ගොවි සංවිධාන වල මැදිහත් වීම මත සිදු කිරීම් ආරම්භ කර ඇත.ඒ අතරින් වැව් 03 ක වැඩ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන්වී ඇත. සෙසු වැව් 19යේ ප්‍රතිසංස්කරණ කටයුතුද 75% ක පමණ ප්‍රමාණයක් අවසන් වී ඇති බව අප කළ විමසුමකදී පුත්තලම සහකාර ගොවිජන සේවා කොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙකු කියා සිටියේය.

වැව් වල ඇති රොන් මඩ ඉවත් කර අලවි කිරීම තුළින් ලබා ගන්නා මුදල් යොදා ගනිමින් වැවේ ඇති සොරොව් පද්ධතියද, වැව් බැම්ම සහ අනෙකුත් නිර්මිතයන් ප්‍රතිසංස්කරණය කිරීම සුදුසු බවට පුත්තලම දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදීද තීරණය කර ඇත. ඒ අනුව පුත්තලම දිස්ත්‍රික් සහකාර ගොවිජන සේවා කොමසාරිස් කාර්යාලය විසින් අදාල වැව් ප්‍රතිසංස්කරණය සදහා තෝරා ගෙන තිබී ඇත.

මෙම වැව් වලින් ඉවත් කරන පස් අදාල ස්ථානයේ සිට කිලෝ මීටර් 3.5 ක් ප්‍රවාහනය කිරීමටද ඒ ඒ ප්‍රදේශ වල ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් අවසර ලබා දී ඇත.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් අප පුත්තලම දිස්ත්‍රික් සහකාර ගොවිජන සේවා කොමසාරිස් ඩබ්ලිව්.එම්.එම්.ඒ.බුද්ධදාස මහත්මියගෙන්ද විමසීමක් කළ අතර ඇය කියා සිටියේ තෝරා ගෙන ඇති වැව් ප්‍රතිසංස්කරණය කර අවසන් වූ විට වටිනාකම රුපියල් කෝටි 10 කට වැඩි වන බවත් රජයේ මුදල් සතයක් හෝ වියදම් නොකර ගොවි සංවිධාන වල මූලිකත්වයෙන් අපේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන බවත් ය.