( තිළිණි ද සිල්වා, රංජන් කටුගම්පොළ)
බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් පැවති අධිචෝදනා නඩු විභාගයෙන් මරණ දඬුවම නියමව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් සය දෙනා විසින් ගොනු කළ විශේෂ අභියාචන පෙත්සම ලබන දෙසැම්බ්ර් 05 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(6) තීන්දු කළේය.
මරණ දඬුවම නියම කරමින් මහාධිකරණය ලබා දුන් එම තීන්දුව ඉවත් කොට ,තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීමට නියමිතව තිබුණද එය ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීම හේතුවෙන් එම විශේෂ අභියාචන පෙත්සම සලකා බැලීම එදිනට කල් තැබිණි.
මෙම අභියාචන පෙත්සම් ඊවා වනසුන්දර ,සිසිර ද ආබෲ , සහ බුවනෙක අළුවිහාරේ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
අදාළ දඬුවමින් තමන් මුදා හරින්නැයි ඉල්ලා හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ,ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන, උප පොලිස් පරීක්ෂක ලක්මිණි ඉන්දික බමුණුසිංහ , පොලිස් සැරයන් ගාමිණී අතපත්තු සරත්චන්ද්‍ර ,පොලිස් කොස්තාපල්වරුන් වන ආනන්ද ප‍්‍රියන්ත සංජීව ,කැලූම් රංග දිසානායක යන පෙත්සම්කාර චූදිතයින් සිය අභියාචන පෙත්සම් වලින් ඉල්ලා තිබිණි.

