(විනීතා එම් ගමගේ)
හඳුනා නොගත් වකුගඩු රෝගයෙන් ඉකුත් වසර දෙකේ දී උතුරු මැද පළාතේ මිය ගිය සංඛ්‍යාව සොයා අධ්‍යයනයක් සිදු කිරීමට රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පර්යේෂණ කණ්ඩායමක් පියවර ගෙන ඇත.
මේ අධ්‍යයනය ග‍්‍රාම නිලධාරි මට්ටමින් සිදුකරන බවත්, සෑම නිවසක්ම අසුවන පරිදි ගණනය කරන බවත් පර්යේෂණ කණ්ඩායමේ ප‍්‍රධානි මහාචාර්ය ඡන්න ජයසුමන මහතා ලංකාදීපයට අද (06) පැවැසීය.
දැනට රජය නිකුත් කර ඇති සංඛ්‍යා ලේඛන අනුව 2016 දි වකුගඩු රෝගය නිසා 298 දෙනකු මිය ගොස් ඇති අතර 2017 ජනවාරි පළමු වැනිදා සිට මේ දක්වා 127 දෙනකු ද මිය ගොස් ඇත.
එහෙත් මේ සංඛ්‍යා ලේඛන පිළිගත නොහැකි බවත් ඒවා පදනම් වන්නේ රෝහල්වලින් ලබාගත් දත්ත අනුව බවත් කී මහාචාර්යවරයා මෙකී අධ්‍යයනය ආරම්භ කළේ මෙම හේතුවෙන් බවත් ප්‍රකාශ කළේය.
උතුරු මැද නගරවලින් ඈත දුෂ්කර ගම්මානවල වැසියන් වකුගඩු රෝගයෙන් රෝහල් ගත කළ තම ඥාතින් බේරා ගත නොහැකි අවදියක සිටින බව වෛද්‍යවරුන් පැවැසුවහොත් එම රෝගියා නිවසට ගෙනයන බව කී ජයසුමන මහතා එවැනි රෝගීන් මිය ගිය පසු රෝහල් දත්තවලට අසු නොවන බවත් කීය.
බොහෝ විට එසේ සුව කළ නොහැකි වකුගඩු රෝගින් නිවසට ගෙන යනු ලබන්නේ රෝහලේ ගියහොත් මෘත ශරීරය නිවසට ගෙන යාමට විශාල මුදලක් අවමංගල රථයට ගෙවීමට සිදුවන නිසාත් එවැනි මුදලක් ඔවුන් සතුව නොමැති නිසාත් යැයි ද හෙතෙම පැවසීය.
මෙවැනි පරිසරයක් යටතේ රෝහල් දත්ත පමණක් ලබාගෙන සංඛ්‍යා ලේඛන නිකුත් කිරීමෙන් සත්‍යය යටපත් වන බැවින් තමන් මේ පිළිබඳ නිවැරදි දත්ත එකතු කිරීම ආරම්භ කළ බව ජයසුමන මහතා තව දුරටත් ප‍්‍රකාශ කළේය.

